වැලිගම හෝටලයකට වෙඩි තැබීම ගැන කරුණු එළියට

වැලිගම හෝටලයකට වෙඩි තැබීම ගැන කරුණු එළියට

අධිකරණය මගින් ධුරයේ කටයුතු කිරීම අත්හිටුවා ඇති දේශබන්දු තෙන්නකෝන් මහතාගේ ක්‍රියා කළාපය සම්බන්ධයෙන් සොයා බැලීමට පත් කල පාර්ලිමේන්තු කමිටුව අද රැස්වුණේ, 5 වන දිනටයි.

සාක්ෂිකරුවන්ගෙන් හරස් ප්‍රශ්ණ විමසීම අද සිදු කෙරුණු අතර තමන්ට ලැබුණු උපදෙස් මත හෝටලයක් ඉලක්ක කර ගනිමින් කල වෙඩිතැබීමක් සම්බන්ධයෙන් , කොළඹ අපරාධ කොට්ඨාශයේ හිටපු ස්ථානාධිපති ඇනස්ලම් ද සිල්වා මහතා මෙහිදී හෙළිකළා.

අධිකරණය මගින් ධුරයේ කටයුතු කිරීම අත්හිටුවා ඇති දේශබන්දු තෙන්නකෝන් මහතාගේ ක්‍රියා කළාපය සම්බන්ධයෙන් සොයා බැලීමට පත් කල කමිටුව එහි සභාපති ශ්‍රේෂ්ඨාධීකරන විනිසුරු ප්‍රීති පද්මන් සූරසේන මහතාගේ ප්‍රධානත්වයෙන් අද උදෑසන 9.00 රැස්වුණා.

කමිටුව ආරම්භයේ දී, පසුගිය කමිටු වාරයේදී එකඟතාවය පළවූ පරිද්දෙන්, වැලිගම වෙඩිතැබීමේ විමර්ශණ වල ප්‍රගතිය විමසීම සම්බනධයෙන් පොලිස් විශේෂ විමර්ශණ ඒකකයේ, ස්ථානාධීපති ප්‍රධාන පොලිස් පරීක්ෂක තුසිත කුමාර මහතා කැඳවා තිබුණා.

ඒ අනුව අදාල විමර්ශනයේ ප්‍රගතිය සම්බන්ධයෙන් පොලිස් විශේෂ විමර්ශණ ඒකකයේ, ස්ථානාධීපති ප්‍රධාන පොලිස් පරීක්ෂක තුසිත කුමාර මහතා කමිටුව හමුවේ කරුණු ඉදිරිපත් කලා.

ඉන් අනතුරුව අදල වෙඩි තැබීමේ සිද්ධියේ සාක්ෂි විමසීමේ කටයුතු ආරම්භ කලා.

ඒ අනුව ප්‍රථමයෙන්ම සාක්ෂි ලබාදුන්නේ, කොළඹ අපරාධ කොට්ඨාශයේ හිටපු ස්ථානාධීපති, ඇනස්ලම් ද සිල්වා මහතායි.

දිලීප පීරිස් – 2023 දෙසැම්බර් මස 30 වනදා වන විට ඔබ කොළඹ අපරාධ කොට්ඨාශයේ කවුද…?

ඇනස්ලම් – මම ස්ථානාධිපති ස්වාමීනි

දිලීප පීරිස් – ඔබ යටතේ පාලනය වන ඒකක තියෙනවාද..?

ඇනස්ලම් – එසේය ස්වාමීනී…. ඒකක 10ක් පමණ තියෙනවා…

දිලීප පීරිස් – ඔබ විශේෂ වැටලීමක් සඳහා වැලිගමට ගියාද…?

ඇනස්ලම් – ඔව් ස්වාමීනී

දිලීප පීරිස් – 2023 දෙසැම්බර් 29 වෙනිදාත් වැටලීමක් සඳහා නිලධාරී කණ්ඩායමක් පිටත්කර හැරියාද…?

ඇනස්ලම් – ඔව් ස්වාමීණී කණ්ඩායමක් පිටත්කර හැරියා.

දිලීප පීරිස් – 30 වෙනිදා වැටලීමට ඔබ සමඟ කී දෙනෙක් ගියාද…?

ඇනස්ලම් – 08 දෙනෙක් ගියා ස්වාමීනි

දිලීප – කවුද ඒ වැටලීමට යන්න කිව්වේ

ඇන – මගේ උසස් නිලධාරියෙක් වන නෙවිල් ද සිල්වා මහතා

දිලීප – වැලිගම යන අතර මගදී වාහනේ අංක තහඩු වෙනස් කළාද..?

ඇනස්ලම් – ඔව් ස්වාමීනී රියදුරු කිව්වා , අපේ ගෙදරදි ව්‍යාජ අංක තහඩු සවිකලා කියලා. ඒ විතරක් නෙවෙයි ගමන පිටත් වෙන්න කලින් වාහනේ ස්වරූපයත් වෙනස් කලා.

දිලීප පීරිස් – ඔබ දැන සිටියාද මොනවගේ දේකටද යන්නේ කියලා…?

ඇනස්ලම් – ස්වාමීණී අපට උපදෙස් දීලා තිබුනේ, වැලිගම අදාල හෝටලයේ තාප්පයට සහ බෝඩ් එකට වෙඩි තියන්න කියලා.

දිලීප පීරිස් – ඔබත් සමඟ ගිය නිලධාරීන් රැගෙන ගිය ගිණිඅවි මොනවාද..?

ඇනස්ලම් – ටී 56 ගිණි අවි දෙකයි, පිස්තෝල දෙකයි ස්වාමීණී.

දිලීප පීරිස් – ඊට පස්සේ මොකද කළේ..?

ඇනස්ලම් – ස්වාමීනී අලුයම 2ට විතර හෝටලය ගාවට ගියා. එහිදී මගේ වම් පසින් සිටි මදුරංග නැමති නිලධාරීයා හෝටලයට වෙඩි ප්‍රහාර 10 ක් පමණ තිබ්බා.

විනිසුරු – වෙඩි තිබ්බේ වාහනයේ ඇතුලේ සිටද?

ඇනස්ලම් – වාහනයේ පැති දොර ඇරලා තමයි වෙඩි තිබ්බේ.

විනිසුරු – කුමන ඉරියව්වක සිටද ඔහු වෙඩි තිබ්බේ.

ඇනස්ලම් – ස්වාමීනි වාඩි වෙලා ඉදගෙන වෙඩ් තිබ්බේ.

දිලිප් – ඊට පස්සේ මොකද වුණේ..?

ඇනස්ලම් – ස්වාමීණී වෙඩි තබන අවස්ථාවේ මම කන් දෙකේ ඇගිලි ගහගෙන ඔළුව පහත් කරගෙනයි හිටියේ.

විනිසුරු – ඇයි එහෙම හිටියේ?

ඇනස්ලම් – ස්වාමීනී වාහනය ඇතුලේ ඉදලා වෙඩි තියද්දී දෝංකාරය වැඩියි. මගේ වයසත් එක්ක ඒක දරාගන්න අමාරුයි.

දිල්ප් – ඔබ එතනින් පිටත්වුණා ද..?

ඇනස්ලම් – ස්වාමීණී අපේ වාහනය දෙසටත් වෙඩි ප්‍රහාර කිහිපයක් එල්ලවුණා. මං එතකොට කෑ ගැහුවා ඉක්මනට යං කියලා. මට ඇහුනා පිටිපස්සේ එක්කෙනෙක් කියනවා ඕ.අයි. සී. ඩවුන් කියලා. අපි එහෙම එනකොට මගේ දකුණු පැත්තේ ඉදපු උපුල් මහත්තයා මගේ ඇගට කඩාගෙන වැටුණා. එතකොට මම දැනගත්තා උපුල්ටයි, මධුරංගටයි දෙන්නටම වෙඩි වැදිලා කියලා.

දිලිප් – එතකොට ඔබ ඒ අය රෝහල ගතකලේ නැද්ද…?

ඇනස්ලම් – ස්වාමීනී ගූගල් මැප් එකෙන් කරාපිටිය රෝහලට යන්නේ කොහොමද කියලා බලලා අපි අධිවේගී මාර්ගය පැත්තට ආවා. ඒ අතරතුර ව්‍යාජ අංක තහඩු ගලවලා හරි අංක තහඩු සවිකලා.

දිලිප – අංක තහඩු වෙනස් කරන එක නීති විරෝධී වැඩක් නේද..?

ඇනස්ලම් – ස්වාමීණී අපි ගියෙත් නීති විරෝධී වැඩකට තමයි.

දිලීප – ඊට පස්සේ මොකද වුණේ..?

ඇනස්ලම් – ඉමදුව පිවිසුමෙන් අධිවේගී මාර්ගයට දාන්න යද්දී එතන හිටපු පොලිස් නිලධාරීයා අපේ වාහනය නතරකර ගත්තා.

පාතාල කණ්ඩායමක් වෙඩි තියලා පළා යනවා කියලා මේ වාහනයට යන්න දෙන්න එපා කියලා මැසේජ් එකක් ආවා කියලා ඒ නිලධාරියා අපිට කිව්වා.

මගේ රාජකාරී හැදුනුම්පත පෙන්නුවට පස්සේ, වැලිගම පොලිස් ස්ථානාධිපතිවරයා එතනට ඇවිත්, ගිලන් රථයකින් රෝගීන් කරාපිටියට යවලා. අපිවයි වෑන් එකයි වැලිගම පොලීසියට අරගෙන ගියා.

ඊට පස්සේ උදේ 6 ට විතර කොළඹ අපරාධ කොට්ටාශයේ වැඩ බලන අධ්‍යක්ෂ නෙවිල් ද සිල්වා පොලීසියට ආවා. එතනදි අපි කතා කර ගත්තා, වැටලීමකට ආපු වෙලාවේ තුන්වන පාර්ශවයකින් අපිට වෙඩි තිබ්බා කියලා පොලීසියට කට උත්තර දෙමු කියලා.

සංජීව – කොළඹ අපරාධ කොට්ඨාශයෙන් හරක්කටා ගැන විමර්ශණ කීයක් සිදු කරනවද..?

ඇනස්ලම් – මත්කුඩු ජාවාරම, අත්බෝම්බයක් ලග තබා ගැනීම, ටී.අයි.ඩී.යෙන් පැනයාමට තැත්කිරීම ඇතුළු විමර්ශණ කිහිපයක් සිදුකරනවා.

සංජීව – වැලිගම වැටලීමට ගියේ ඒ විමර්ශණ වලට සහය වුණ කණ්ඩායමක් නේද..?

ඇනස්ලම් – ඔව් ස්වාමීණී

සංජීව – සක්ෂිකරු, ඔබ දන්නවාද නදුන් චින්තක නොහොත් හරක් කටා සමඟ සබදතා පැවැත්වූ පුද්ගලයින් 149 දෙනෙක් සම්බන්ධයෙන් විමර්ශණ කරන්න කියලා පොලිස්පතිගෙන් උපදෙස් ලැබිලා තියනව කියලා…?

ඇනස්ලම් – ඔව් ස්වාමීනී අපේ අධ්‍යක්ෂකට ඊට අදාල උපදෙස් ලබා දීලා තියෙනවා.

සංජීව – ඉතිං ඒකට අදාල කරුණකට නේද වැලිගම ප්‍රදේශයට ගියේ…?

ඇනස්ලම් -ඔව් ස්වාමීණී. අදාල හෝටලයේ හරක් කටා සමග සබඳතා පවත්වන පිරිසක් 31 රෑ සාදයක් සැලසුම් කරලා තියෙනවා කියලා තොරතුරු ලැබිලා තියෙනවා කියලා අපිට කිව්වා. ඒ අය බය කරන්න බෝඩ් එකටයි , තාප්පෙටයි වෙඩි තියන්න කියලා තමයි අපිට උපදෙස් ලැබුනේ.

සංජීව – මම ආයෙත් අහනවා ඒ උපදෙස් දුන්නේ කවුද කියලා..?

ඇනස්ලම් – ස්වාමීණී නිශාන්ත සොයිසා තමයි උපදෙස් දීලා තියෙන්නේ.

සංජීව – එතකොට දේශබන්දු තෙන්නකෝන් උපදෙස් දුන්නේ නැද්ද…?

ඇනස්ලම් – නෑ ස්වාමීණී . පොලිස්පතිතුමා උපදෙස් දුන්නේ නෑ.

ඊට අමතරව ව්‍යාජ අංක තහඩු සවි කිරීම ඇතුළු තවත් කරුණු කිහිපයක් සම්බන්ධයෙන් වග උත්තරකාර දේශබන්දු තෙන්නකෝන් මහතා වෙනුවෙන් පෙනී සිටි නීතීඥ සංජීව වීරවික්‍රම මහතා, කොළඹ අපරාධ කොට්ඨාශයේ හිටපු ස්ථානාධීපති, ඇනස්ලම් ද සිල්වා මහතාගෙන් ප්‍රශ්ණ කර සිටියා.

එහිදී ඔහු සාක්ෂි කරුට චෝදනා කරමින් කියා සිටියේ මීට පෙර අධිකරණයට ලබාදුන් සාක්ෂි වලට වඩා වෙනස් සාක්ෂි ලබා දෙමින් අසත්‍ය තොරතුරු මේ කමිටුව හමුවේ ඔහු ප්‍රකාශ කල බවයි.

කෙසේ වෙතත් එම චෝදනාව ප්‍රතික්ෂේප කල ඇනස්ලම් ද සිල්වා මහතා කියා සිටියේ තමන් කමිටුව හමුවේ ප්‍රකාශ කලේ සත්‍ය කරුණු බවයි.

Share This