කොහුවල නිවසකට වෙඩිතැබීමේ සිද්ධියට තිදෙනෙක් අත්අඩංගුවට

කොහුවල නිවසකට වෙඩිතැබීමේ සිද්ධියට තිදෙනෙක් අත්අඩංගුවට

කොහුවල කළුබෝවිල ප්‍රදේශයේ ව්‍යාපාරිකයෙකුගේ නිවෙසට වෙඩි තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් තවත් සැකකරුවන් තිදෙනෙකු ගල්කිස්ස කොට්ටාස අපරාධ විමර්ශන ඒකකය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මූලික පොලිස් විමර්ශනවලින් හෙළිව තිබෙන්නේ මත්ද්‍රව්‍ය සම්බන්ධ සිදුවීමක් මුල් කරගෙන මෙම වෙඩි තැබීම සිදුව ඇති බවයි.

කොහුවල , කළුබෝවිල පාරේ පිහිටි මේ නිවසට යතුරුපැදියකින් පැමිණි දෙදෙනෙකු වෙඩි තබා තිබුණේ ඉකුත් 15 වැනිදායි.

මෙම සිද්ධියට අදාළව සැක පිට කාන්තාවන් දෙදෙනෙකු හා තවත් පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ත්‍රිරෝද රථයක් ද පොලිස් භාරයට ගෙන ඇත්තේ සැකකරුවන් සමගයි.

මෙලෙස අත්අඩංගුවට පත්ව ඇති තිදෙනා අතර වෙඩික්කරුගේ බිරිද සහ බිරිදගේ මවද සිටින බව පොලිසිය පවසනවා.

පොලිස් විමර්ශන වලදී හෙළිවී ඇත්තේ වෙඩික්කරුක්කරු සිද්ධියෙන් පසු දින ඩුබායි රාජ්‍ය බලා පලා ගොස් ඇති බවයි.

පලා ගිය වෙඩික්කරු සංවිධානාත්මක අපරාධකරුවෙකු වන මෝදර නිපුණ නමැත්තාගේ සමීපතමක් බවත් විමර්ශනවලින් හෙළිව තිබෙනවා.

පොලිසිය පැවසුවේ මෝදර නිපුන නමැත්තාගෙන් ලබාගත් අයිස් මත්ද්‍රව්‍ය තොගයකට ,අදාළ නිවසේ පදිංචි සහෝදරයන් තිදෙනාගෙන් එක් අයෙකු මුදල් නොගෙවීමේ සිද්ධියක් මුල් කරගනිමින් මෙම වෙඩි තැබීම සිදුව ඇති බවයි.

ව්‍යාපාරිකයාගේ පුත්‍රයා ද මේ වනවිට විදෙස් ගතව සිටිනවා.

ඔහු සම්බන්ධයෙන් මීට පෙරද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විමර්ශනයක් ආරම්භ කර තිබුණා.

ඒ මෙරට ප්‍රධාන පෙලේ සංවිධානාත්මක අපරාධකල්ලි සාමාජිකයින්ට විදෙස් ගමන් බලපත්‍ර ව්‍යාජ අයුරින් සකස් කිරීමේ චෝදනා මතයි.

ආගමන විගමන දෙපාර්ත්ම්න්තුව ආශ්‍රිතව තැරැව්කරුවෙකු ලෙස කටයුතු කරමින් කංජිපානි ඉම්රාන්, කෙහෙල්බද්දර පත්මේ, යකා සමන්ත ඇතුළු පිරිසකට ව්‍යාජ විදේශ ගමන් බලපත්‍ර සාදා ගැනීම සඳහා මොහු සහය වී ඇති බවටයි තොරතුරු ලැබී තිබෙන්නේ.

නිවස දෙසට වෙඩි ප්‍රහාර 6 එල්ල වී තිබූ අතර කිසිවෙකුටත් හානි සිදුවී තිබුණේ නැහැ .

සිද්ධිය සම්බන්ධයෙන් නවගමුව ප්‍රදේශයේ ත්‍රිරෝද රථ රියදුරෙක් ප්‍රථමයෙන්ම අත්අඩංගුවට පත්වූ අතර ඔහු ගෙන් අනාවරණයවූ තොරතුරු මතයි අනෙක් සැකකරුවන් තිදෙනා අත්අඩංගුවට ගෙන ඇත්තේ.

Share This