
යුද උණුසුම මැද ඉරානයේ සහ ඊශ්‍රායලයේ 78 ක් ශ්‍රී ලංකාවට පැමිණීමට සූදානමින්
පවතින යුද ගැටුම් හේතුවෙන් මෙරටට පැමිණීම සඳහා ශ්‍රී ලාංකිකයින් 37 දෙනෙකු සිය කාර්්‍යාලයේ ලියාපදිංචි වී ඇති බව ඊශ්‍රායලයේ ශ්‍රී ලංකා තානාපති නිමල් බණ්ඩාර මහතා පවසනවා.
තානාපතිවරයා සඳහන් කළේ, ඉන් 5 දෙනෙකු මේ වන විට ශ්‍රී ලාංකාව බලා පැමිණ ඇති බවයි.
ඊයේ දිනය තුළ 12 දෙනෙක් සහ අද දිනය තුළ 20 දෙනෙකු මෙරටට පැමිණීම සඳහා තානාපති කාර්යාලයේ ලියාපදිංචි වී තිබෙනවා.
මේ අතර මැදපෙරදින කලාපයේ පවතින තත්ත්වය යටතේ පීඩාවට පත්ව සිටින ශ්‍රී ලාංකිකයින් ආරක්ෂිතව නැවත මෙරටට ගෙන්වා ගැනීමේ සම්බන්ධීකරණය කටයුතු සඳහා පූර්ණ ලෙස නියැලී සිටින බව විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යාංශය පවසනවා.
මැදපෙරදිග වේගයෙන් පැතිරෙන ආරක්ෂක තත්ත්වය සමීපව නිරීක්ෂණය කරමින් සිටින බව විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යාංශය නිවේදනය කරනවා
ඔවුන් පවසන්නේ කලාපයේ පවතින ආතතීන්ගෙන් පීඩාවට පත්ව සිටින ශ්‍රී ලාංකික ජාතිකයින් ආරක්ෂිතව නැවත ගෙන්වා ගැනීම සදහා සම්බන්ධීකරණය කිරීමේ කටයුතුවල පූර්ණ ලෙස නියැලී සිටින බවයි.
මෙම ක්‍රියාවලිය සංකීර්ණ හා බහු-තානාපති මෙහෙයුමක් බව එම නිවේදනයේ සදහන්.
ඉරානය, ඊශ්‍රායලය, ඊජිප්තුව, ජෝර්දානය, ඉන්දියාව සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ අපගේ රාජ්‍ය තාන්ත්‍රික දූත මණ්ඩල සමීප සම්බන්ධීකරණයෙන් කටයුතු කරන්නේ හවුල්කාර විදේශ දූත මණ්ඩල සහ භූමියේ ක්‍රියාත්මක වන ජාත්‍යන්තර ආයතන කිහිපයක් සමඟ ද සමගයි.
ඉන්දීය බලධාරීන් ශ්‍රී ලාංකික පුරවැසියන්ට සීමිත ආසන සංඛ්‍යාවක් වෙන්කර ඇති අතර, ටෙල් අවිව්, අම්මාන් සහ නවදිල්ලියේ අපගේ තානාපති කාර්යාල මගින් පහසුකම් සහතික කිරීම සඳහා ඉන්දියා සමග සමීපව කටයුතු කරන බවද විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යාංශය පැවසුවා.
ඉරානයේ, ටෙහෙරාන් හි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය තහවුරු කර ඇත්තේ ශ්‍රී ලාංකිකයන් 41 දෙනෙකු දැනට සිය රට පැමිණීමේ බලාපොරොත්තුවෙන් රැඳී සිටින බවයි. ඉන් සිව් දෙනෙකු දැනටමත් පිටත්ව ගොස් තිබෙනවා.
අද දින එක් සිසුවෙකු මෂාඩ් සිට පිටත්ව යාමට නියමිතව ඇති අතර, පුද්ගලයින් තිදෙනෙකු අවසරය බලාපොරොත්තුවෙන් අසර්බයිජාන් දේශසීමාවේ සිටීන බව වාර්තා වනවා. දින 8 ක් වයසැති ළදරුවෙකු ඇතුළු හය දෙනෙකුගෙන් යුත් පවුලක් ඉන්දීය සහාය ඇතිව ලබන සතියේ පිටත්ව ඒමට සූදානමින් සිටීන බව ද අමාත්‍යාංශය නිවේදනය කළා.