එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මහකොමසාරිස් හා ජාතික ජන බලවේගයේ නායකයින් අතර හමුවක්….

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මහකොමසාරිස් හා ජාතික ජන බලවේගයේ නායකයින් අතර හමුවක්….

ජාතික ජන බලවේග ආණ්ඩුව බිහි වීමත් සමග ශ්‍රී ලංකාවේ මානව හිමිකම් ආරක්ෂා කිරීම හා ජාතිවාදයෙන් තොරව පාලනය කිරීම පිළිබඳව ඇති ප්‍රගතිය සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසමේ මහකොමසාරිස්වරයා සිය සතුට සහ විශ්වාසය ජාතික ජන බලවේගයේ නායකයින් වෙත පළ කර තිබෙනවා.

මේ අදහස් පළ කර ඇත්තේ එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මානව හිමිකම් කොමිසමේ මහකොමසාරිස් වෝකර් ටර්ක් මහතා ( Volker Turk) ප්‍රමුඛ එම සංවිධානයේ නියෝජිතයින් පිරිසක් අද (26) පස්වරුවේ ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන කාර්යාලයේදී ජාතික ජන බලවේගයේ නායකයින් පිරිසක් මුණගැසුණ අවස්ථාවේදීයි.

මෙම හමුවට ජාතික ජන බලවේගය නියෝජනය කරමින් ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා, ජාතික ජන බලවේගයේ ප්‍රධාන ලේකම් විශේෂඥ වෛද්‍ය නිහාල් අබේසිංහ, ප්‍රවාහන, මහාමාර්ග, වරාය සහ සිවිල් ගුවන්සේවා අමාත්‍ය බිමල් රත්නායක, ග්‍රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ සහ ප්‍රජා සවිබලගැන්වීම් අමාත්‍ය ආචාර්ය උපාලි පන්නිලගේ, කාන්තා හා ළමා කටයුතු අමාත්‍ය සරෝජා පෝල්රාජ් යන අය සහභාගී වී සිටියා.

එක්සත් ජාතීන්ගේ සංවිධානය නියෝජන කරමින් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසමේ මහකොමසාරිස් වෝකර් ටර්ක් මහතා, එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ශ්‍රී ලංකාවේ නේවාසික සම්බන්ධීකාරක මර්ක් ඇන්ඩ්‍රේ ෆ්‍රැන්චේ මහතා ( Marc Andre Franche) , ආසියා පැසිෆික් කලාපයේ ප්‍රධානී (OHCHR) රෝරි මුන්ගෝවෙන් මහතා ( Rory Mungoven) , මානව හිමිකම් නිලධාරී (OHCHR) එලයිනේ චාන් මහත්මිය ( Elaine Chan) , ජ්‍යෙෂ්ඨ මානව හිමිකම් උපදේශක (Sri lanka) ලයිලා නසරිල්ලි මහත්මිය ද (Laila Nazarili) සහභාගි වුණා.

එහිදී ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත සංශෝධනය කිරීම, මානව හිමිකම් ආරක්ෂා කිරීම වෙනුවෙන් ගනු ලබන ඉදිරි පියවරයන් පිළිබඳව, අතුරුදහන් වූවන් පිළිබඳව සොයා බැලීම යන කරුණු සම්බන්ධයෙන් ඔවුන්ගේ විශේෂ අවධානය යොමු වී තිබෙනවා.

ජාතික ජන බලවේගයේ නායකයින් අවධාරණය කර ඇත්තේ ජාතික ජන බලවේගය ආණ්ඩුවක් ලෙස නැවතත් ශ්‍රීලංකාව තුළ ජාතිවාදය හෝ පීඩාකාරී මානව හිමිකම් කඩවීමේ සිදුවීම් ඇතිවීමට ඉඩ නොතබන අතර එය ආණ්ඩුවේ ප්‍රතිපත්තිය බව නොවන බවයි.

විශේෂයෙන්ම අතුරුදහන් වූවන් පිළිබඳව සොයා බැලීමත්, ශ්‍රී ලාංකීය ජාතියක් ලෙස කටයුතු කිරීම වෙනුවෙන් ගනු ලබන ඉදිරි ක්‍රියාමාර්ගයන් පිළිබඳවත් මෙම හමුවේදී ජාතික ජන බලවේගයේ නායකයින්, එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසමේ නියෝජිතයින් දැනුම්වත් කර තිබෙනවා.

 

Share This