එ.ජා.මානව හිමිකම් පිළිබඳ මහකොමසාරිස් ගේ නිරීක්ෂණ අමාත්‍ය විජිත අතට

එ.ජා.මානව හිමිකම් පිළිබඳ මහකොමසාරිස් ගේ නිරීක්ෂණ අමාත්‍ය විජිත අතට

දිවයිනේ කෙටි නිරීක්ෂණ චාරිකාවක් සඳහා පැමිණි එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මානව හිමිකම් පිළිබඳ මහකොමසාරිස් වොල්කර් ටර්ක් මහතා සංචාරය නිම කිරීමෙන් අනතුරුව තම නිරීක්ෂණ විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් මහතාට අද (26) ලබා දුන්නා.

අතුරුදහන් වූ පුද්ගලයන් සහ සත්‍ය සෙවීමේ කටයුතු පිළිබඳව රාජ්‍ය ආයතන තවදුරටත් ශක්තිමත් කළ යුතු බවට දැනුම් දී ඇත්තේ ඒ අනුවයි.

මීට අමතරව සාමාන්‍ය ජනතාව සහ රජයේ ආයතන අතර විශාල පරතරයක් තිබෙන අතර නීතිය රකින ආයතන ද මෙයට ඇතුළත් බව මහකොමසාරිස්වරයා සිය නිරීක්ෂණ වාර්තාවේ දක්වා තිබෙනවා.

ඔහු අදාල වාර්තාවෙන් පෙන්වා දී ඇත්තේ ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත සම්බන්ධයෙන් රජයේ ස්ථාවරය පිළිගත හැකි අතර ඒ සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ආයතනවලින් සහයෝගය අවශ්‍ය වුවහොත් ලබා දීමට හැකි බවටයි.

උතුරු පළාතේ ජනතාවගේ ඉඩම් තවමත් හමුදාව යටතේ පවතින අතර එය ඉක්මණින් නිදහස් කිරීමට රජය කටයුතු කරනු ඇතැයි මහ කොමසාරිස්වරයා අපේක්ෂා කරන බවට ද අදාල නිරීක්ෂණයන්ට ඇතුලත්.

මෙම සංචාරයේ දී හමු වූ සිවිල් සමාජ නායකයින් සහ සියලු ආගමික නායකයින් ජාතික සමගිය පිළිබඳව දැඩි විශ්වාසයකින් සහ අධිටනකින් සිටින අතර එය අගය කරන බව මහ කොමසාරිස් වොල්කර් ටර්ක් මහතා සිය වාර්තාවේ දක්වා තිබෙනවා.

මහ කොමසාරිස්වරයා යෝජනා කර ඇත්තේ මත්ද්‍රව්‍ය සම්බන්ධව සහ එයට ඇබ්බැහි වූවන් සම්බන්ධයෙන් රජයේ ප්‍රතිපතිය තවදුරටත් විමසා බැලීමටයි.

උතුරු පළාතේ ඇති ඉඩම් ඒවායේ නියම හිමිකරුවන් සොයා ආපසු බාරදීමට රජය නොපැකිළිව කටයුතු කරනු ඇතැයි අමාත්‍ය විජිත හේරත් මහතා, වෝල්කර් ටර්ක් මහතාට මෙහිදී දැනුම් දී තිබෙනවා.

අමාත්‍යවරයා පෙන්වා දී ඇත්තේ ඉඩම් ආපසු පවරා දීම ප්‍රමාද වී ඇත්තේ නියම අයිතිකරුවන් හඳුනාගැනීමට වූ අපහසුතාවයෙන් බවයි.

රජය විසින් අතුරුදහන් වූවන් සහ සත්‍ය සෙවීමේ කටයුතු සඳහා අවංකව කැපවී සිටින බවත් ඒ සඳහා සාධාරණ කාලයක් අවශ්‍ය බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් වෝල්කර් ටර්ක් මහතාට දන්වා තිබෙනවා.

 

 

Share This