<

ගම්පහ ව්‍යාපාරිකයින් බියගන්වා කප්පම් ලබාගැනීමේ කල්ලි (VIDEO)

ගම්පහ ප්‍රදේශයේ ව්‍යාපාරිකයින් බියගන්වා කප්පම් ලබාගැනීමේ කල්ලි පිළිබඳ පසුගිය කාලයේ අවස්ථා කිහිපයකදී වාර්තා වුණා.

ඇතැම් මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් ව්‍යාපාරිකයින්ගෙන් කප්පම් ලබාගැනීම් කටයුතුවල නිරත වන අතර එවැනි හඬ පටයක් ද අප වෙත ලැබී තිබෙනවා.

ආසන්න සිදුවීම ඉකුත් 18 වැනිදා බඩල්ගම, මැල්ලවගෙදර ප්‍රදේශයෙන් වාර්තා වූ අතර එම ප්‍රදේශයේ ව්‍යාපාරිකයකුගෙන් රුපියල් කෝටියක කප්පමක් ඉල්ලා තිබුනේ සිය දරුවා ඝාතනය කරන බවට තර්ජනය කරමින්.

කෙසේ වෙතත් මෙම ව්‍යාපාරිකයා මීගමුව කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශයට කළ පැමිණිල්ලකට අනුව ඊට සම්බන්ධ සැකකරුවන් දෙදෙනෙක් අත්අඩංගුව ගනු ලැබුවා.

ගම්පහ ප්‍රදේශයේ පදිංචි අදාළ සැකකරුවන් දෙදෙනා ව්‍යාජ පිස්තෝලයක් භාවිත කර තමන් සංවිධානාත්මක අපරාධ කල්ලි නායකයින් බව කියන හීනටියන මහේෂ් හා හීනටියන සංඛ නැමැත්තන් ලෙස හුවා දක්වමින් එම ක්‍රියාව සිදුකර ඇති බව විමර්ශනලදී හෙළිවුණා.

මේ අතර තමන් කෙහෙල්බද්දර පද්මේ යැයි පවසමින් තවත් ව්‍යාපාරිකයෙකුගෙන් එලෙස කප්පම් ඉල්ලා ලබාදුන් ඇමතුමකට අදාළ හඬ පටයක් අප වෙත ලැබී තිබෙනවා.

කැලෑ මහින්ද නැමැත්තෙක් එම කප්පම් මුදල් ඉල්ලා ඇති බවට අනාවරණ වී ඇති අතර අදාළ ව්‍යාපාරිකයා ඒ සම්බන්ධයෙන් පොලිසියට පැමිණිල්ලක් ද කර තිබෙනවා.

මේ අතර ප්‍රදේශ කිහිපයක කළ මෙහෙයුම්වලදී අයිස්, හෙරොයින් ඇතුලු විවිධ වර්ගයේ මත්ද්‍රව්‍ය ගත වූ මාස දෙකක කාලය තුළ මෙරටට රැගෙන එමින් තිබූ හෙරොයින් සහ අයිස් මත්ද්‍රව්‍ය කිලෝ ග්‍රෑම් 1758 ක් ආරක්ෂක අංශ භාරයට ගෙන තිබෙනවා.

 

 

Share This