
ජා.ජ.බ. සභිකයින් දෙදෙනකු පැහැර ගැනීම රඟපෑමක් බවට විපක්ෂයෙන් චෝදනා
ජාතික ජන බලවේගයේ සභිකයින් දෙදෙනෙකු වැලිගම ප්‍රදේශිය සභාව සදහා පැමිණෙමින් සිටින අතුරතුර, නාදුනන පිරිසක් විසින් පැහැරගත් බව පැවසුවත් ඔවුන් සිදු කළ රගපෑමක් බවට විපක්ෂය චෝදනා කරනවා.
පොලිසිය සඳහන් කළේ සිද්ධිය සම්බන්ධයෙන් පොලිසිය විමර්ශන ක්‍රියාත්මක කර ඇති අතර මෙතෙක් ඊට අදාළව සැකකාර කිසිවෙකු හදුනාගෙන නොමැති බවයි .
වැලිගම ප්‍රාදේශිය සභාවේ එක් දේශපාලන පක්ෂයකට හෝ කණ්ඩායමකට බහුතර බලය ලබාගැනීමට නොහැකි වූ පසුබිමක එහි සභාපතිවරයා පත් කර ගැනීම සදහා මංගල සභාවාරය පසුගිය සිකුරාදා (27) රැස්වුණා.
එහිදි ජාතික ජන බලවේගයේ සභිකයින් දෙදෙනෙකු සභාවට නොපැමිණීමත් සමග සභාවේ නොසන්සුන්කාරි තත්ත්වයක් හටගත් අතර පසුව වාර්තා වූයේ එම සභිකයින් දෙදෙනා අතරමගදී පැහැර ගැනීමට ලක්ව ඇති බවයි.
ඒ හේතුවෙන් පළාත් පාලන කොමසාරිස්වරිය සභාවේ වැඩ කටයුතු කල් තැබීමට පියවර ගත්තා.
මෙලෙස පැහැර ගැනුණු බවට වාර්තා වුණේ ජාතික ජන බලවේගයෙන් වැලිගම ප්රාදේශීිය සභාවට තේරි පත් වූ කනංකේ ප්‍රදේශය නියෝජනය කරන කමනි අල්විස් සහ අජිත් ප්‍රියන්ත යන දෙදෙනායි.
එදිනම පස්වරුව වන විට ඔවුන් දෙදෙනා නිරුපද්‍රිතව ගාල්ල, උණවටුණ මුහුදු තීරයේ සිටියදී සොයාගැනුණු අතර සිද්ධිය සම්බන්ධයෙන් කනංකේ පොලිසියට ලද පැමිණිල්ලකට අනුව පොලිසිය වැඩිදුර විමර්ශන ආරම්භ කළා.
එහිදී අනාවරණ වුණේ අදාළ මන්ත්‍රිවරුන් දෙපළ වැලිගම ප්‍රාදේශිය සභාව වෙත ත්‍රිරෝද රථයකින් පැමිණෙමින් සිටි අතරවාරයේ කැබ් රථයකින් පැමිණි පිරිසක්,අදාළ පුද්ගලයින් දෙදෙනාගේ මුහුණු ආවරණය කර පැහැරගැනීමට ලක් කළ බවයි.
සිද්ධියට අදාළව අජිත් ප්‍රියන්ත මන්ත්‍රිවරයාගෙන් පොලිසිය ප්‍රකාශ සටහන් කරගෙන ඇති අතර අදාළ මන්ත්‍රිවරිය ගෙන් ඉදිරියේදී ප්‍රකශ සටහන් කර ගැනීමට නියමිත බව පොලිසිය සඳහන් කළා.