රජයේ රෝහල්වල නේවාසික රෝගීන්ට ගුණාත්මක,  ප්‍රනීත ආහාර වේලක් රෝගියාට ම වෙන්වූ විශේෂ පිඟානක්

රජයේ රෝහල්වල නේවාසික රෝගීන්ට ගුණාත්මක, ප්‍රනීත ආහාර වේලක් රෝගියාට ම වෙන්වූ විශේෂ පිඟානක්

නියමු ව්‍යාපෘතිය මහරගම අපේක්ෂා රෝහලෙන් ආරම්භ කෙරේ…

රජයේ රෝහල්වල නේවාසිකව ප්‍රතිකාර ගනු ලබන රෝගීන්ට ගුණාත්මක, ප්‍රනීත ආහාරවේලක්, ප්‍රියතාවයක් ඇතිවන පරිදි රෝගියාට ලබා දීමේ විශේෂ වැඩපිළිවෙළක් ආරම්භ කිරීමට සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ අවධානය යොමුව ඇති බව වාර්තා වනවා.

ඊට අදාළව විශේෂ සාකච්ඡාවක් පසුගිය දා සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ ප්‍රධානත්වයෙන් එම අමාත්‍යාංශයේ දී පැවැත් වුණා.

මෙම විශේෂ වැඩපිළිවෙළ ආරම්භ කිරීමේ නියමු ව්‍යාපෘතිය මහරගම අපේක්ෂා රෝහල කේන්ද්‍රගත කරගෙන ආරම්භ කිරීමට ද සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය තීරණය කර ඇති බව අමාත්‍යාංශය පවසනවා.

ඒ අනූව එම රෝහලේ අධ්‍යක්ෂවරයා ඇතුළුව පරිපාලනයට සහ මෙම විෂයට අදාළ නිලධාරීන්, ශ්‍රී ලංකා පෝෂණ විශේෂඥ වෛද්‍යවරුන්ගේ විද්‍යායතනයේ වෛද්‍යවරුන්, පෝෂණවේදීන්, ඇතුළු පිරිසකගේ සහභාගීත්වයෙන් මෙම හමුව පැවැත් වී තිනුණා.

සෞඛ්‍ය අමාත්‍යාංශය වාර්ෂිකව අති විශාල මුදලක් රජයේ රෝහල්වල නේවාසික රෝගීන්ට ආහාර පාන ලබාදීම සදහා වැය කරන බව පෙන්වා දුන් අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා එම මුදලට සාධාරණයක් ඉටුවන්නේ ද යන්න ගැටළු සහගත තත්ත්වයක් බව පැවසුවා.

මේ වන තෙක් රෝහලෙන් රෝගියාට ලබා දෙන ආහාර වේල පිළිබඳව රෝගියා තෘප්තිමත් ද නැද්ද යන්න පිළිබදව විමසීමක්වත් නොකරන තත්ත්වකට එම සේවාව පත්ව ඇති බව සෞඛ්‍ය අමාත්‍යවරයා අවධාරණය කළා.

රෝහලෙන් ලබා දෙන වර්තමාන ආහාරවේල පිළිබඳවත්, එය රෝගියාට ලබා දෙන ක්‍රමයේත් වෙනසක් ඇති කළයුතු බව සෞඛ්‍ය අමාත්‍යවරයාගේ අදහසයි.

ප්‍රනීත, ගුණදායක ආහාරවේලක් ප්‍රියමනාපව රෝගියාට ලබාදීමේ අවශ්‍යතාවය සහිතව මහරගම අපේක්ෂා රෝහලෙන් ආරම්භකරන මෙම නියමු ව්‍යාපෘතිය ඉදිරියේ දී මෙරට සියලු රජයේ රෝහලවල ක්‍රියාත්මක කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශය බලාපොරොත්තු වනවා.

සෞඛ්‍ය අමාත්‍යවරයා විමසා සිටියේ අපේක්ෂා රෝහල තුළ මෙම ව්‍යාපෘතිය ආරම්භ කිරිමට පවතින ගැටළු මොනවාද යන්නයි.

මේ වන විට අපේක්ෂා රෝහල තුළ එකවර 2000 කට ආහාර පාන සැකසීම සදහා පහසුකම් සහිත නවීන මුළුතැන්ගෙයක් සකස් කර ඇති බවත් , එයට ප්‍රමාණවත් කාර්ය මණ්ඩලයක් නොමැති බවත් මෙහි දී අණාවරණය වුණා.

එමෙන් ම නවීන ආකාරයට මෙම ආහාර පාන සැකසීම සහ පිළිගැන්වීමට කාර්ය මණ්ඩලයට විශේෂ පුහුණුවක් ලබා දීමේ අවශ්‍යතාවය ද මෙහි දී මතු වුණා.

මුළුතැන්ගෙය, කුස්සිය හෙවත් ‘kitchen’ යන නාමය වෙනුවට එහි නම ආහාර පාන දෙපාර්තමේන්තුව (Food and Beverages Department) ලෙස වෙනස් කිරීමටත් මෙහි දී යෝජනා වී තිබෙනවා.

තනි පිඟානකට හොදි, එළවළු. මාළු, මස් යනාදිය බෙදූ ආහාර පිඟානක් වෙනුවට‍: බත්, එළවළු, මස් හෝ මාළු යනාදිය වෙන වෙන ම බෙදා තිබෙන ප්‍රියමනාප පිඟානක (Customise Plate) අදාළ ආහාර වේල රෝගියාට පිරිනැමීම මෙම ව්‍යාපෘතියේ ප්‍රධාන අංගයක්.

එබඳු පිඟානකට බෙදූ ආහාර වේලක් දුටු සැණින් රෝගියාට ආහාර ගැනීමට රුචියක්, ප්‍රියතාවක් ඇති වන බව ද වෛද්‍යවරුන් මෙහි දී අමාත්‍යවරයාට පෙන්වා දී තිබෙනවා.

එමෙන් ම මෙම ව්‍යාපෘතිය ඉදිරියේ දී රජයේ සියලුම රෝහල්වල ක්‍රියාත්මක කිරීමට නම් රෝහල්වල මුළුතැන්ගෙවල් නවීකරණයට ලක්කළ යුතු බවත්, දැනට පවතින ගෑස් උඳුන වෙනුවට වාෂ්ප (steam) බලයෙන් ක්‍රියාත්මක කළ හැකි උඳුන් මෙන් ම නවීන තාක්ෂණයෙන් යුතු උපකරණ ලබාදීමේ අවශ්‍යතාවය ද මෙහි දී මතු කර තිබෙනවා.

රෝහල්වල ආහාර පාන සැකසීමට අමුද්‍රව්‍ය ලබාදීමේ ලංසුව ලබා දෙනුයේ අවම ලංසුව තබන පුද්ගලයාට බවත්, එම අවම ලංසුව තබන තැනැත්තා රෝහලට ලබා දෙන අමුද්‍රව්‍යවල ගුණාත්මකභාවය පිළිබඳව ගැටළු සහගත තත්ත්වයන් පවතින බවත් මෙහිදී අනාවරණය වූ කරුණු අතර ප්‍රධානයි.

විශේෂයෙන් ම කුළුබඩුවල ගුණාත්මකභාවය පිළිබඳව විශේෂ අවධානයක් යොමුකළ යුතු බව නිලධාරීන්, වෛද්‍යවරුන් අමාත්‍යවරයාට පෙන්වා දී තිබෙනවා.

 

Share This