තක්කාලි මිල පහළ වැටී ගොවියෝ දුක් වේ (VIDEO)

තක්කාලි මිල පහළ වැටී ගොවියෝ දුක් වේ (VIDEO)

අධික පිරිවැයක් යොදා වගා කළ තක්කාලි අස්වැන්නට වෙළඳපොළේ ඉතා අඩු මිලක් පැවතීම හේතුවෙන් උඩරට තක්කාලි ගොවීන් දැඩි අසීරුතාවයට පත්ව සිටින බව වාර්තා වනවා.

තොග වෙළඳුන් පෙන්වා දෙන්නේ කැප්පෙටිපොල ඇතුළු ආර්ථික මධ්‍යස්ථාන රැසකම මේ වන විට තක්කාලි අස්වැන්නේ අතිරික්තයක් පැවතීම මෙලෙස මිල පහළ බැසීමට මූලික හේතුව වී ඇති බවයි.

මෙරට වගා කෙරෙන උඩරට බෝග අතර තක්කාලි වලට හිමිවන්නේ ප්‍රධාන ස්ථානයක්.

පහසුවෙන් අස්වනු ලබා ගත හැකි බෝගයක් වුවත් තක්කාලි වගාවට අධික පිරිවැයක් දැරීමට සිදුවන බවයි උඩරට තක්කාලි ගොවීන් පවසන්නේ.

වැලිමඩ , ඌව පරණගම , කැප්පෙටිපොල සහ බොරලන්ද ආදී ප්‍රදේශවල වැඩි වශයෙන් මේ තක්කාලි වගාව සිදු කෙරෙන අතර ඒ ඔස්සේ සරු අස්වැන්නක් ලබා ගැනීමටත් උඩරට තක්කාලි ගොවීන්ට හැකියාව ලැබී තිබෙනවා.

නමුත් , එලෙස විශාල අස්වැන්නක් ලැබීම හේතු කර ගනිමින් , මේ වන විට තක්කාලි වෙළඳපොලේ මිල සීඝ්‍රයෙන් පහත බැස ඇති බවටයි ගොවීන් පවසන්නේ.

ඒ අනුව මේ වන විට තක්කාලි කිලෝවක තොග මිල රුපියල් 30ක් තරම් පහළ අගයකට වැටී තිබෙනවා.

ඒ අයුරින් තක්කාලි වලට මිලක් නොමැති වීම හේතුවෙන් තමන් අධික පිරිවැයක් යොදා සිදු කල වගාවෙන් විශාල පාඩුවක් සිදුව ඇති බව ගොවීන් පෙන්වා දුන්නා.

එහිදී ගොවීන් රජයට අවධාරණය කලේ , මෙලෙස තක්කාලි අතිරික්තයක් පවතින විට තක්කාලි අපනයනය කිරීමට හෝ වහාම පියවර ගත යුතු බවටයි.

මේ අයුරින් තක්කාලි වල මිල පහත බැසීම සම්බන්ධව අප කැප්පෙටිපොල විශේෂිත ආර්ථික මධ්‍යස්ථානයෙන්ද විමසීමක් සිදු කළා.

එහිදී තොග වෙළෙඳුන් පෙන්වා දුන්නේ මේ වන විට කැප්පෙටිපොල ආර්ථික මධ්‍යස්ථානයට පමණක් නොව රට පුරා සෑම ආර්ථික මධ්‍යස්ථානයකටම තක්කාලි අස්වනු වැඩි වශයෙන් ලැබීම හේතුවෙන් තක්කාලි වල තොග මිල පහත බැස ඇති බවයි.

Share This