කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයට වසරකට දේශීය සිසුන් 100 ක් පමණයි – කමිටුව නිර්දේශ කරයි (VIDEO)

කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයට වසරකට දේශීය සිසුන් 100 ක් පමණයි – කමිටුව නිර්දේශ කරයි (VIDEO)

කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයට වෛද්‍ය සිසුන් බඳවාගත යුතු ආකාරය සොයා බැලීමට පත් කළ කමිටුව ඒ සඳහා වසරකට දේශීය සිසුන් 100 ක් බඳවා ගැනීමට නිර්දේශ කර තිබෙනවා.

කෙසේ වෙතත් අදාළ කමිටු වාර්තාවේ දැක්වෙන්නේ ඔවුන්ට රජයේ රැකියා හෝ රජයේ රෝහල්වල සීමාවාසික පුහුණුව ලබාදෙන බවට වගකීමක් රජය භාර නොගන්නා බවයි.

කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයට දේශීය සිවිල් සිසුන් බඳවා ගැනීමට පසුගිය ආණ්ඩුව පියවර ගෙන තිබුණත් වර්තමාන ආණ්ඩුව එය අත්හිටුවන බව ඉකුත් දා ප්‍රකාශ කළා.

ඒ සම්බන්ධයෙන් විවිධ අදහස් පළ වූ පසුබිමක කැබිනට් මණ්ඩලය තීරණය කළේ අදාල කටයුත්ත සිදු කළ යුතු ආකාරය පිළිබඳ සොයා බැලීමට කැබිනට් අනු කමිටුවක් පත් කිරීමටයි.

එම කමිටුව ආරක්ෂක ලේකම්, විශ්‍රමික එයාර් වයිස් මාර්ෂල් සම්පත් තුයියකොන්තා, අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් නාලක කළුවැව සහ සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම් වෛද්‍ය අනිල් ජාසිංහ යන මහත්වරුන්ගෙන් සමන්විත වුණා.

ඒ අනුව එම කමිටුව කොතලාවල විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයට යළි දේශීය සිසුන් බඳවා ගැනීමට නිර්දේශ කර තිබෙනවා.

කෙසේ වෙතත් ඒ සඳහා කොන්දේසි මාලාවක් හඳුන්වා දීමටයි ඔවුන් තීරණයකර තිබෙන්නේ.

ඒ අනුව කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයට වසරකට බඳවා ගත හැක්කේ 150කට නොවැඩි එක් ශිෂ්‍ය කණ්ඩායමක් පමණක් වන අතර ඊට මුදල් ගෙවීමේ පදනමින් වසරකට දේශීය සිවිල් සිසුන් 100 දෙනෙකු පමණක් ඇතුළත් කර ගැනීමට නියමිතයි.

කෙසේ වෙතත් ඉසෙඩ් ලකුණු පදනමින් බඳවා ගන්නා අදාළ සිවිල් සිසුන්ට සීමාවාසික පුහුණුව හෝ රාජ්‍ය සේවයේ අවස්ථාව ලබා දෙන බවට වගකීමක් කොතලාවල විශ්වවිද්‍යාලය විසින් භාර ගන්නේ නැහැ.

එසේ රැකියාව හෝ පුහුණුව ලබා දෙන්නේ නම් එම කටයුතු සිදු කෙරෙන්නේ පවතින පුරප්පාඩු අණුව පමණයි.

එම කොන්දේසි සඳහා අලුතින් බඳවා ගන්නා සිසුන්ගේ එකඟතාවක් ලියාපදිංචි කිරීමේදී ලබා ගැනීමට නියමිතව තිබෙනවා.

කොතලාවල ආරක්ෂක විද්‍යාපීඨයට තෝරා ගන්නා දේශීය සිවිල් වෛද්‍ය සිසුන් 100 දෙනා අතරින් දස දෙනෙකුට පූර්ණ ශිෂ්‍යත්ව ලබා දීමටද කටයුතු යොදා තිබෙනවා.

අදාළ සිසුන්ට සායනික පුහුණුව සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් රෝහල් තෝරා දීමටද නියමිතයි.

Share This