මනුෂ්‍ය ඝාතන ඇතුළු අපරාධ කළ පිල්ලෙයාන් සහ කරුණා ගේ ආධාරකරුවන් දෙදෙනෙක් අත්අඩංගුවට

මනුෂ්‍ය ඝාතන ඇතුළු අපරාධ කළ පිල්ලෙයාන් සහ කරුණා ගේ ආධාරකරුවන් දෙදෙනෙක් අත්අඩංගුවට

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මනුෂ්‍ය ඝාතන හා සංවිධානාත්මක අපරාධ විමර්ශන ඒකකයේ නිලධාරින් කණ්ඩායමක් විසින් 2005 සිට 2008 දක්වා වර්ෂවල නැගෙනහිර පළාතේ සිදුවූ මනුෂ්‍ය ඝාතන, පුද්ගලයින් පැහැරගැනීම, අතුරුදහන් කිරීම්, ගිනි අවි පරිහරණය, වදකාගාර පවත්වාගෙන යාම හා කප්පම් ලබා ගැනීම් සම්බන්ධව දීර්ඝ විමර්ශනයක් සිදු කර තිබෙනවා.

විමර්ශනවලදී අනාවරණය වූ කරුණු මත එම කොට්ඨාසයේ නිලධාරින් කණ්ඩායමක් ඉහත අපරාධවලට සම්බන්ධ සැකකරුවන් දෙදෙනෙකු ඊයේ (06) තිරුක්කෝවිල් හා සන්දිවේලි ප්‍රදේශවලදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අත්අඩංගුවට ගත් සැකකරුවන් වයස අවුරුදු 45 සහ 44 වයස්වල පසුවන තිරුක්කෝවිල් හා සන්දිවේලි ප්‍රදේශවල පදිංචිකරුවන්.

එම සැකකරුවන් සම්බන්ධව සිදුකළ විමර්ශනයේදී පළමු සැකකරු 2004 වර්ෂයේ එල්.ටී.ටී.ඊ සංවිධානයෙන් ඉවත්වූ කරුණාම්මාන් පාර්ශවයේ තිරුක්කෝවිල් ප්‍රදේශයේ සන්නද්ධ කඳවුරක ප්‍රධානියා ලෙස කටයුතු කර තිබෙන බවයි පොලීසිය පැවසුවේ.

මොහු කරුණාම්මාන් නියෝජනය කළ දේශපාලන පක්ෂයෙහි 2007 හා 2008 වර්ෂවල අම්පාර දිස්ත්‍රික් ජනාධිපති සම්බන්ධීකරණ නිලධාරියා ලෙස කටයුතු කර ඇති අතර, 2012 සිට 2015 දක්වා කාලයේ එම පාර්ශවය නියෝජනය කළ පක්ෂයෙහි නැගෙනහිර පළාත් සභාවේ මන්ත්‍රීවරයෙකු ලෙසත් කටයුතු කර තිබෙනවා.

දෙවන සැකකරු ඉහත පළමු සැකකරුගේ අනුගාමිකයෙකු ලෙස කටයුතු කර ඇති අතර මොවුන් දෙදෙනාම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු අත්අඩංගුවේ රැඳවුම් නියෝග මත සිටින සිවනේසතුරෛ චන්ද්‍රකාන්තන් නොහොත් පිල්ලෙයාන් ගේ නායකත්වය යටතේ නැගෙනහිර පළාත මූලික කරගෙන අපරාධ සිදුකර ඇති බවට ද අනාවරණය වී තිබෙනවා.

මෙම සැකකරුවන් සම්බන්ධ සහ ආධාර අනුබල දී ඇති බවට විමර්ශනවලදි අනාවරණය වූ අපරාධ සම්බන්ධ තොරතුරු පහත පරිදි වේ.

* 2005.02.07 වන දින පොළොන්නරුව, වැලිකන්ද පුල්ලෙයාර්අඩි ප්‍රදේශයේදී ටී.එන්.ඒ. පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී අරියනායගම් චන්ද්‍රනේරු ඇතුළු පුද්ගලයින් 06 දෙනෙකු ඝාතනය කිරීම.

* 2007.05.09 වන දින ජොන්සන් ජෙයකාන්තන් නොහොත් සින්දුජන් යන අය ඝාතනය කිරීම.

* 2007.06.28 වන දින තිරුක්කෝවිල් ප්‍රාදේශීය සභා සභාපති පිල්ලනායගම් උදයකුමාර් යන අය ඝාතනය කිරීම.

* 2007.07.27 තිරුක්කෝවිල් ප්‍රදේශයේ පදිංචි සිවනාදිගන් අලගුරාසා යන අය පැහැර ගැනීම.

* 2008.04.20 කල්මුණේ පොලිස් වසමේ පාණ්ඩිරිප්පු ප්‍රදේශයේදී කන්දයියා නාගරාසා සහ කනගරත්නම් ආනන්දි යන ග්‍රාම නිලධාරී යුවළ ඝාතනය කිරීම.

* 2008.09.25 වන දින තිරුක්කෝවිල් විනයාගපුරම් ප්‍රදේශයේ පදිංචි තිරුමාල් තිරුචෙල්වම් යන අය පැහැර ගෙන ගොස් ඝාතනය කිරීම.

* 2008.11.21 වන දින තිරුක්කෝවිල් විනයාගපුරම් ප්‍රදේශයේ පදිංචි රාසයියා කෝපුලන් යන අය වෙඩි තබා ඝාතනය කිරීම හා ඔහුගේ මවට වෙඩි තබා තුවාල සිදු කිරීම.

2022.12.21 වන දින අක්කරපත්තු අධිකරණයට ගිනි තබා අනර්ථයක් සිදු කිරීමේ සිද්ධියට මෙම සැකකරුවන්ගේ ඍජු සම්බන්ධතාවයක් ඇති ද යන්න පිළිබඳ විමර්ශන කටයුතු සිදු කරන බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පවසනවා.

ඉහත පළමු සැකකරු සම්බන්ධයෙන් උගත් පාඩම් හා ප්‍රතිසංධාන කොමිෂන් වාර්තා වලට අනුව නැගෙනහිර පළාතේ පුද්ගල ඝාතන, පැහැරගැනීම්, වදකාගාර පවත්වාගෙන යාම, ගිනි අවි පරිහරණය කිරීමට සම්බන්ධ පුද්ගලයෙකු ලෙස ද නම් කර ඇති බවට අනාවරණ වී තිබෙනවා.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පවසන්නේ මෙම සැකකරුවන් සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මඟින් තවදුරටත් විමර්ශන සිදුකරගෙන යන බවයි.

Share This