බ්‍රිතාන්‍යයෙන් ශ්‍රී ලංකාව ඇතුලු රටවල් කිහිපයට බදු සහන දෙන නව පැකේජයක්

බ්‍රිතාන්‍යයෙන් ශ්‍රී ලංකාව ඇතුලු රටවල් කිහිපයට බදු සහන දෙන නව පැකේජයක්

ශ්‍රී ලංකාව වැනි සංවර්ධනය වෙමින් පවතින රටවලින් සිදු කෙරෙන ආනයන සරල කරමින් බ්‍රිතාන්‍ය ව්‍යාපාර හා වෙළඳ දෙපාර්තමේන්තුව නව වෙළඳ පැකේජයක් හඳුන්වා දී තිබෙනවා.

ඒ අනුව ශ්‍රී ලංකාව, නයිජීරියාව සහ පිලිපීනය වැනි රටවලින් එක්සත් රාජධානිය වෙත ආනයනය කෙරෙන බොහෝ භාණ්ඩ තීරු බදු රහිතව ආනයනය කිරීමට අවස්ථාව සැලසෙන අතර අමෙරිකාවෙන් ශ්‍රී ලංකාවට 30% ක තීරු බදු පැනවීමක් හමුවේ මෙම වෙළඳ වාසිය ශ්‍රී ලංකාවේ ආර්ථිකයට දැඩි රුකුළක් වනු ඇති බවයි ජාත්‍යන්තර ආර්ථික නිරීක්ෂකයින් මත පළ කරන්නේ.

අමෙරිකාවේ විමුක්ති දිනය යෙදී තිබුණු ඉකුත් අප්‍රේල් දෙවැනිදා ලෝක බලවතා ලෙස සැලකෙන අමෙරිකාවේ ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් රටවල් 180කට අධික සංඛ්‍යාවකට බලපැවැත්වෙන පරිදි ඉහළ තීරුබදු පැනවීමට කටයුතු කළ අතර ඒ අතරින් ලෙසතෝ, කාම්බෝජය, ලාඕසය, මැඩගස්කරය, වියට්නාමය, සිරියාව, ෆෝක්ලන්ඩ් දූපත ඇතුලු රටවල් කිහිපයකට ඉහළ තීරුබදුවලට යටත් වීමට සිදුවුණා.

මෙම අත්තනෝමතික තීරුබදු පැනවීමට ජාත්‍යන්තරයෙන් දැඩි චෝදනා එල්ල වීමත් සමඟ අමෙරිකාව සමඟ ගිවිසුමකට එකඟවීම සදහා අදාල රටවලට අවස්ථාවක් ලබාදෙමින් දින අනූවක සහන කාලයක් ප්‍රකාශයට පත් කිරීමටයි ට්‍රම්ප් තීරණය තීරණය කළේ.

ට්‍රම්ප් නිවේදනය කළ බදු සහන කාලය ජුලි 09 වැනිදායින් අවසන් වීමට නියමිතව තිබියදී ඉකුත් දෙවැනිදා නිවේදනය කලේ රට රටවලට අදාළ අන්‍යෝන්‍ය තීරු බදු ප්‍රතිශත ලිපි මගින් දැනුම් දීම ආරම්භ කරන අතර කිසිදු හේතුවෙක් මත එම කාලය දීර්ඝ නොකරන බවයි.

එවැනි පසුබිමක සහන කාලය අවසන් වීමට දින දෙකක කාලයක් පමණක් ඉතිරිව තිබියදී ඉකුත් 07 වනිදා ට්‍රම්ප් සිය තීරණය යළිත් පසුපසට ගනිමින් එම සහන කාලය 09 වැනිදායින් අවසන් වුවත් බදු අයකිරීම සිදුවන්නේ එළඹෙන අගෝස්තු මස 01 වැනිදා සිට බව ප්‍රකාශ කළා.

එවන් පසුබිමක ට්‍රම්ප් අඛණ්ඩවම තීරු බදු ලිපි යැවීම සිදුකල අතර මේ වන විට රටවල් 22 කට පමණ නව තිරුබදු ප්‍රකාශයට පත් කරමින් ලිපි යවා අවසන්.

මේ අතර ඊයේ දිනය වන විට ශ්‍රී ලංකාවටද අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් යොමු කරන ලද ලිපිය ලැබී තිබුණා.

ඒ අනුව ශ්‍රී ලංකාවට අමෙරිකාවෙන් පනවන ලද අන්‍යෝන්‍ය තීරු බද්ද 44% සිට 30% දක්වා පහත හෙළා තිබුණා.

ශ්‍රී ලංකාව ද අමෙරිකාවෙන් සිදු කරන ආනයන සදහා මේ වන විට 88% තීරු බද්දක් ක්‍රියාත්මක කරන අතර මෙරට වැඩිම අපනයන ආදායමක් උපයන්නේ අමෙරිකාවට සිදු කරන අපනයන හරහායි.

ශ්‍රී ලංකාව අමෙරිකාව වෙත වැඩි වශයෙන් අපනයනය කරන්නේ රෙදි පිළි සහ ඇගලුම් නිෂ්පාදන වන අතර 2022 වසරේ අමෙරිකාවට සිදු කළ රෙදිපිළි සහ ඇගලුම් නිශ්පාදන අපනයන කාර්ය සාධනය අමෙරිකානු ඩොලර් මිලියන 5933.52 ක්.

30% ක් දක්වා බදු පනවා ඇති මොහොතක ශ්‍රී ලංකාව ද යළි අමෙරිකාව ඉලක්ක කරගනිමින් තීරුබදු ඉහළ දැමීමට පියවර ගතහොත්, එම ප්‍රතිශතයම දැනට පවතින 30% බද්දට එකතු කරන බවත් අමෙරිකානු ජනාධිපතිවරයා සිය ලිපිය මගින් අනතුරු ඇගවීමක්ද සිදු කර තිබෙනවා.

අමෙරිකාව මෙරටට පැනවූ නව බදු ප්‍රතිශතය පිළිබඳව ක්ෂේත්‍ර කිහිපයක නියෝජිතයින් පවසන්නේ මෙම තීරු බද්ද මෙරට ආර්ථිකයට මරු පහරක් එල්ල කරනු ඇති බවයි.

මේ අතර අමෙරිකාව විසින් පණවනු ලබන නව තීරු බද්ද හමුවේ මෙරට සෞඛ්‍ය ක්ෂේත්‍රයත් දැඩි අර්බුදකාරී තත්ත්වයකට පත්වීමට ඉඩ ඇති බවයි වෛද්‍ය හා සිවිල් අයිතිවාසිකම් පිළිබඳ වෛද්‍යවරුන්ගේ වෘත්තිය සමිතිය සඳහන් කරන්නේ.

 

Share This