සෙවනගල සීනි කම්හල වසා දැමීමේ තීරණයක් නැති බවට රජ‍යෙන් ප්‍රකාශයක්

සෙවනගල සීනි කම්හල වසා දැමීමේ තීරණයක් නැති බවට රජ‍යෙන් ප්‍රකාශයක්

සෙවනගල ලංකා සීනි සමාගමේ ගැටලු විසඳීම සඳහා රුපියල් බිලියන 3ක් වෙන්කර ඇති බව නියෝජ්‍ය අමාත්‍ය ආර්.එම්. ජයවර්ධන මහතා පවසනවා.

කෙසේ වෙතත් අද සිට එම සීනි සමාගම වසා දැමීමේ අවදානමක් මතුව ඇති බවයි උක් ගොවීන් ප්‍රකාශ කළේ.

1986 වසරේ ලංකා සීනි සමාගමට අනුබද්ධව සෙවනගල සීනි කර්මාන්ත ශාලාව ආරම්භ කරන්නේ මෙරට සීනි අවශ්‍යතාව 100%ක් දේශීයව සපුරා ගැනීමේ අරමුණින්.

නමුත් අක්‍රමවත් පරිපාලනය සහ කළමනාකරණයේ දුර්වලතා හේතුවෙන් සෙවනගල සීනි කර්මාන්ත ශාලාව අවස්ථා රැසකදී විවිධ ගැටලුවලට මුහුණදීම හේතුවෙන් විටින් විට නිෂ්පාදන ක්‍රියාවලිය අඩපණ වුණා.

මේ වනවිට සෙවනගල සීනි කර්මාන්ත ශාලාව ආශ්‍රිතව හෙක්ටයාර 7518 කට අධික ප්‍රමාණයක උක් වගා කෙරෙන අතර, උක් ගොවීන් 4000ක් පමණ ආයතනය යටතේ සේවය කරනු ලබනවා.

එම ගොවීන් චෝදනා කරන්නේ අක්‍රමවත් පරිපාලනය හේතුවෙන් සීනි කර්මාන්ත ශාලාව වසා දැමීමට තීරණය කර ඇති බව තමන්ට තොරතුරු ලැබී ඇති බවයි.

කෙසේ වෙතත් සෙවනගල සීනි කර්මාන්ත ශාලාවට බලපා ඇති අදාළ ගැටළුව සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා ප්‍රදේශයේ උක් ගොවීන්ගේ සහභාගීත්වයෙන් සාකච්ඡාවක් පැවැත්වුණා.

ඊට එක්වූ නියෝජ්‍ය අමාත්‍ය ආර්.එම්. ජයවර්ධන මහතා සඳහන් කර ඇත්තේ සෙවනගල සීනි කර්මාන්ත ශාලාවේ ගැලුව විසඳීම සඳහා මුදල් අමාත්‍යාංශය සමඟ පැවැති සාකච්ඡාවකින් අනතුරුව රුපියල් බිලියන 3ක් වෙන් කර ඇති බවයි.

අදාළ සමාගම වසා දැමීමේ කිසිදු ක්‍රියාමාර්ගයක් නොගන්නා බවත් නියෝජ්‍ය අමාත්‍යවරයා එහිදී වැඩිදුරටත් සඳහන් කර තිබෙනවා.

Share This