වියට්නාම් තානාපතිනිය නියෝජ්‍ය ආරක්‍ෂක අමාත්‍යවරයා හමුවෙයි

වියට්නාම් තානාපතිනිය නියෝජ්‍ය ආරක්‍ෂක අමාත්‍යවරයා හමුවෙයි

මෙරට වියට්නාම් සමාජවාදී ජනරජ තානාපතිනි Trinh Thi Tam මැතිණිය, නියෝජ්‍ය ආරක්‍ෂක අමාත්‍ය මේජර් ජෙනරල් අරුණ ජයසේකර (විශ්‍රාමික), කොළඹ පිහිටි ඔහුගේ කාර්යාලයේදී හමුවුණා.

ආරක්‍ෂක නියෝජ්‍ය අමාත්‍යවරයා සහ තානාපතිවරිය අතර පැවති සුහඳ හමුව අතරතුරදී විශේෂයෙන් ආරක්‍ෂක ක්ෂේත්‍රයේ ද්විපාර්ශ්වික සහයෝගීතාව ඉහළ නැංවීම සඳහා ගතයුතු පියවර සම්බන්ධයෙන් දෙපාර්ශ්වයටම වැදගත් වන අදහස් හුවමාරුවකද ඔවුන් නිරත වූණා.

එහිදී අදහස් දැක්වූ නියෝජ්‍ය අමාත්‍යවරයා, ශ්‍රී ලංකාව සහ වියට්නාමය අතර දිගුකාලීන රාජ්‍යතාන්ත්‍රික සබඳතා වෙනුවෙන් සිය ප්‍රශංසාව පළ කරනු ලැබුවා.

විශේෂයෙන් අන්‍යෝන්‍ය වශයෙන් උපායමාර්ගික වැදගත්කමක් සහිත ක්ෂේත්‍රවල හවුල්කාරිත්වය තවදුරටත් ශක්තිමත් කිරීම පිළිබඳව ඔහු ශුභවාදී අදහස් පළ කළ අතර, අනාගතයේ දී ද වියට්නාම රජයේ අඛණ්ඩ සහයෝගීතාවය අපේක්‍ෂා කරන බව ද, ප්‍රකාශ කළේය.

පසුගිය මැයි මාසයේ ශ්‍රී ලංකා ජනාධිපති වියට්නාමයේ සිදුකළ සාර්ථක නිල සංචාරය පිලිබඳ මෙන්ම, එහිදී ද්විපාර්ශ්වික සහ බහුපාර්ශ්වික වශයෙන් වැදගත් වන ගිවිසුම් කිහිපයකට ඵලදායී ලෙස සම්බන්ධ වීම සම්බන්ධයෙන් වියට්නාම තානාපතිනිය සිය හෘදයාංගම කෘතඥතාව මෙහිදී පළ කළාය.

එමෙන්ම, මෙම සංචාරය ඔස්සේ දෙරට අතර පවතින නොබිඳෙන මිත්‍රත්වය සහ සහයෝගීතාවය පිළිබිඹු කෙරෙන බව ද, ඇය ප්‍රකාශ කළා.

තවද, ආරක්‍ෂක සහයෝගීතාව, ධාරිතා වර්ධනය, පුහුණු අවස්ථා සහ දැනුම හුවමාරු කර ගැනීමේ වැඩසටහන් සඳහා ශ්‍රී ලංකා රජය සමඟ සමීපව කටයුතු කිරීමට වියට්නාමයේ කැපවීම තානාපතිනිය විසින් යළිත් තහවුරු කළාය.

 

Share This