දුම්රිය ස්ථානාධිපති තනතුර සඳහා පිරිමින් පමණක් බදවා ගැනීමට කාන්තාවන් දෙදෙනෙක් එරෙහිවෙයි

දුම්රිය ස්ථානාධිපති තනතුර සඳහා පිරිමින් පමණක් බදවා ගැනීමට කාන්තාවන් දෙදෙනෙක් එරෙහිවෙයි

දුම්රිය ස්ථානාධිපති තනතුර සඳහා කාන්තා පාර්ශ්වයට අවසර නොදී පිරිමි පුද්ගලයින් පමණක් බඳවා ගැනීමට එරෙහිව තීන්දුවක් ඉල්ලා කාන්තා දෙදෙනෙකු ඉදිරිපත් කළ මූලික අයිතිවාසිකම් පෙත්සමක් විභාගයට ගැනීමට ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කළා.

පෙත්සම්කාරියන් දෙදෙනා පෙන්වා දී තිබෙන්නේ අදාළ තීරණය ක්‍රියාත්මක වුවහොත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ සැමට සමාන අයිතිවාසිකම් හිමිවිය යුතු බවට වන වගන්තිය උල්ලංඝනය වන බවයි.

ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුවට අලුතින් දුම්රිය නියාමකවරුන් 106 දෙනෙකු බඳවා ගැනීම සඳහා අයදුම්පත් කැඳවා තිබෙනවා.

එමගින් සුදුසුකම් ලෙස අධ්‍යාපන සුදුසුකම්වලට අමතරව තෝරා ගන්නේ පිරිමි පුද්ගලයින් පමණක් බව දක්වා ඇතැයි ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ පෙත්සමක් ගොනු කරමින් කාන්තාවන් දෙදෙනෙකු විසින් පෙන්වා දී තිබෙනවා.

එමගින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ සඳහන් නීතිය ඉදිරියේ සමාන සැලකිලි ලැබීමට කාන්තාවන්ට ඇති අයිතිය සහ ලිංගකත්වය මත වෙනස් ආකාරයේ සැලකිලිවලට භාජනය නොකළ යුතු බවට වන වගන්ති උල්ලංඝනය වන බව ඔවුන් පෙන්වා දෙනවා.

එමෙන්ම තමන් කැමති රැකයාවක් කිරීමට තිබෙන මූලික අයිතියද අදාළ අයදුම්පත් කැඳවීමේ ගැසට් පත්‍රය මඟින් උල්ලංඝනය වන බවයි පෙත්සම්කාරියන් වන අයේෂානි ජයවර්ධන සහ සුරේෂ් විදූෂා යන දෙදෙනා පෙන්වා දී ඇත්තේ.

මේ තුළින් සිය මූලික අයිතිවාසිකම් උල්ලංඝනය වන බවට තීන්දු කර දුම්රිය ස්ථානාධිපතිවරු පත්වීම් පිරිමි පුද්ගලයින්ට පමණක් හිමි බවට වන වගන්තිය අදාළ ගැසට් නිවේදනයෙන් ඉවත් කරන නියෝගයක් නිකුත් කරන ලෙසයි පෙත්සම්කාර පාර්ශ්වය වැඩිදුරටත් ඉල්ලා තිබුණේ.

පෙත්සම ඊයේ සලකා බැලූ ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලක් තීරණය කළේ අදාළ කරුණු මත පදනම්ව අදාළ ගැසට් නිවේදනය මගින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය වන්නේද යන්න පිළිබඳ විභාගයක් පැවැත්වීමටයි.

Share This