බලපිටිය, කොස්ගොඩ වෙඩි තැබීමත් පාතාල වැඩක් (VIDEO)

බලපිටිය, කොස්ගොඩ වෙඩි තැබීමත් පාතාල වැඩක් (VIDEO)

බලපිටිය, කොස්ගොඩ හතරමං හන්දිය ප්‍රදේශයේදී පුද්ගලයෙකු ඉලක්ක කර ගනිමින් ඊයේ සිදුවූ වෙඩි තැබීම ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන ලොකු පැටී නමැත්තාගේ පාර්ශ්වයෙන් සිදුකර ඇති බවට අනාවරණ වී ඇතැයි පොලිසිය පවසනවා.

බාලේ නමැති පුද්ගලයා ඉලක්ක කර ගනිමින් මෙම වෙඩි තැබීම සිදු කර ඇති බවයි වාර්තා වන්නේ.

ඊයේ පස්වරු 6.45ට පමණ බලපිටිය, කොස්ගොඩ හතරමං හන්දියේදී ත්‍රිරෝද රථයක් පදවාගෙන යමින් සිටි පුද්ගලයෙකු ඉලක්ක කරගනිමින් වෙඩි තැබීමක් සිදු වුණා.

එම ත්‍රිරෝද රථය අහුංගල්ල සිට කොස්ගොඩ දෙසට ගමන් කරමින් සිටියදී යතුරුපැදියකින් පැමිණි නාඳුනන තුවක්කුකරුවන් දෙදෙනෙකු විසින් පිස්තෝල වර්ගයේ ගිනි අවියකින් මෙම වෙඩි තැබීම සිදු කර තිබෙනවා.

එම අවස්ථාවේ ත්‍රිරෝද රථයේ පිටුපස අසුනේ ත්‍රිරෝද රථ රියදුරුගේ සහෝදරියන් දෙදෙනෙකු සිට ඇති අතර ඔවුන්ට තුවාල සිදුවී නැහැ.

කෙසේ වෙතත් වෙඩි වැදීමෙන් ත්‍රිරෝද රථයේ රියදුරු වන කොස්ගොඩ දුම්රියපොළ පාර ප්‍රදේශයේ පදිංචි නිමුතු අභිෂාන් තාබෲ හෙවත් රන් මහත්තයා නමැති 34 හැවිරිදි පුද්ගලයෙකු තුවාල ලබා තිබෙනවා.

එම වෙඩි තැබීමෙන් ඔහුගේ උදරය, ශරීරයේ පිටුපසට වෙඩි ප්‍රහාර දෙකක් එල්ල කර ඇති බවයි පොලිසිය පැවසුවේ.

ඔහු මේ වන විට බලපිටිය මූලික රෝහලේ ප්‍රතිකාර ලබනවා.

තුවාල ලැබු පුද්ගලයා ඊයේ මේ ත්‍රිරෝද රථය පදවා තිබුණද එම රථයේ හිමිකරු බාලේ නමැත්තා යැයි සිතා මෙම වෙඩි තැබීම සිදු කර ඇති බවට පොලිසිය සැකකරනවා.

වසර දෙකකට පමණ පෙර ද අහුංගල්ල ප්‍රදේශයේ හෝටලයක් අසලදී ත්‍රිරෝද රථයකින් ගමන් කරමින් සිටින අවස්ථාවේ බාලේ නමැත්තා වෙඩි ප්‍රහාරයකට ලක්ව දිවි ගලවාගෙන තිබුණා.

Share This