
එකම හෙදියක්වත් නොමැති ප්‍රාදේශීය රෝහල් 33 ක් උතුරු පළාතේ -සෞඛ්‍ය ඇමති ගෙන් හෙළිදරව්වක්
උතුරු පළාතේ එකම හෙදියක්වත් නොමැති ප්‍රාදේශීය රෝහල් 33 ක් පවතින බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පවසනවා.
අමාත්‍යවරයා පැවසුවේ ඉදිරියේ දී නව හෙද පත්වීම් ලබාදීමත් සමග එම අඩුව සපුරාලීමට කටයුතු කරන බවයි.
නයිනතිව් ප්‍රාදේශීය රෝහලේ නව බාහිර රෝගී අංශ ගොඩනැගිල්ල ජනතා අයිතියට පත් කිරීමේ අවස්ථාවට එක්වෙමින් සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යවරයා අද (12) මේ අදහස් පළ කළා.
මෙම ව්‍යාපෘතියේ ආරම්භකයින් වන්නේ වාසන් සිවාජිරාසන් මහතා සහ ජසින්තා මහත්මිය වන අතර, සම්පත්දායකයින් ලෙස ජර්මානු රතු කුරුස වරෙන්ඩොර්ෆ් ශාඛාව සහ ශ්‍රී ලංකා රතු කුරුස සංගමයයි.
නව බාහිර රෝගී අංශ ගොඩනැගිල්ල තුළ හදිසි අනතුරු ඒකකයක්, ඖෂධ ශාලාවක්, එන්නත් කාමරයක්, දන්ත ඒකකයක්, හෙද විවේකාගාරයක්, ඊ.සී.ජී ඒකකයක්, ශල්‍ය ඒකකයක්, ප්‍රාථමික සත්කාර ඒකකයක් මෙන් ම සනීපාරක්ෂක පහසුකම් වලින් ද යුක්ත වනවා.
සෞඛ්‍ය අමාත්‍යවරයා ලෙස තමන් යාපන අර්ධත්වීපයට පැමිණි මුල්ම අවස්ථාව මෙය වන බවත්, එහිදි පැමිණි ප්‍රථම රෝහල නයිනතිවි රෝහල බවත් අමාත්‍යවරයා මෙහිදී සිහිපත් කළා.
මෙවැනි ප්‍රාදේශීය සෞඛ්‍ය මධ්‍යස්ථාන රට පුරා ස්ථාපිත කිරීමට අවශ්‍ය කටයුතු සම්පාදනයට පසුගිය මාස කිහිපය තුළ සවිස්තර සැලසුමක් සකස් කරමින් සිටින බව ද සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා මෙහි දී පැවසුවා.
මෙවැනි දුපත්වල ප්‍රාථමික සත්කාර ඒකක වලින් වඩා ගුණාත්මක සේවාවක් ලබා දිය හැකි බවත් වසර 10 ක් 12 ක් වැනි දිගු කාලයක් ගතකර ගොඩනැගිලි ඉදිකෙරෙද්දී මෙම ගොඩනැගිල්ල නාවික හමුදාව විසින් ඉතා කෙටි කාලයක් තුළ ඉදිකිරීම් අවසන් කිරීමට කටයුතු කිරීම සතුටට කරුණක් බව ද සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසුවා.
එමෙන් ම වෛද්‍ය උපකරණ සහ ගිලන් රථ ඇතුළු රථවාහන අළුත්වැඩියා කටයුතු අංශයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශය දුර්වල බවත්, ඉදිරියේ දී මිල අධික වෛද්‍ය උපකරණ හා ගිලන් රථ ඇතුළු වාහන ලබාදීමේ දී එම භෞතික සම්පත් අඛණ්ඩව පවත්වාගෙන යනු ලබන ආයතන සමඟ කළමනාකරණයට කටයුතු යොදන බවත් පැවසූ අමාත්‍යවරයා රෝහලේ ගිලන් රථ අවශ්‍යතාව සපුරාලන බවට ද පොරොන්දු වුණා.