ඇල්ල විවෘත කිරීමට තිබූ සංචාරක හෝටලයක් ගිනිගෙන විනාශ වෙයි

ඇල්ල විවෘත කිරීමට තිබූ සංචාරක හෝටලයක් ගිනිගෙන විනාශ වෙයි

බණ්ඩාරවෙල ඇල්ල සංචාරක කලාපයේ නොබෝ දිනකින් විවෘත කිරීමට නියමිතව තිබූ සංචාරක හෝටලයක් , ඒ ආශ්‍රිත රක්ෂිතයක ඇති වූ ගින්නකින් මුලුමනින්ම විනාශ වී තිබෙනවා.

කෝටි හතරකට ආසන්න වියදමකින් ඉදි කර තිබූ එම සංචාරක හෝටලය නොබෝ දිනකින් විවෘත කිරීමට සැලසුම් කර තිබූ හෝටලයක් බවටයි අප වාර්තාකරු සඳහන් කලේ.

ගින්න මැඩ පැවැත්වීමට ඇල්ල – බල්ලකොටුව පොලිසිය සහ රාවණාඇල්ල වනජීවී නිලධාරීන් ඇල්ල ප්‍රදේශවාසීන් සමඟ එක්ව මහත් පරිශ්‍රමයක් දරා තිබූ අතර ඒ වන විට පැවති දැඩි වියළි සුළං තත්ත්වය හේතුවෙන් ගින්න පාලනයට බාධා එල්ල වී ඇති බව වාර්තා වනවා.

මෙම හෝටලයේ වහළ සෙවිලි කිරීමට ඉලුක් යොදාගෙන තිබූ බැවින් ඒවාට ගිනි ඇවිලීමත් සමඟ ගින්න පැතිරීම වේගත් වී මෙලෙස හෝටලය ගින්නට හසුව විනාශ වී ඇති බවටයි තොරතුරු වාර්තා වන්නේ.

මේ දිනවල ප්‍රදේශයේ පවතින වියළි සුළං කාලගුණ තත්ත්වය මෙම ලැව්ගිනි පැතිරයාමට හේතුවක් වී ඇති බව බලධාරීන් පෙන්වා දෙනවා.

මේ අතර කොස්ලන්ද සහ වැල්ලවාය පොලිස් බල ප්‍රදේශ අතර පිහිටා ඇති කොස්ලන්ද පහළ බෑවුම් රක්ෂිතයේ ද ඊයේ පස්වරුවේ මෙලෙස ගින්නක් හටගෙන තිබුණා.

කෙසේ වෙතත් අද අලුයම වන විට ගින්න සම්පූර්ණයෙන්ම පාලනය වී තිබූ බවටයි අප වාර්තාකරු සඳහන් කළේ.

මේ අතර අද අලුයම වේළුවන විද්‍යාලය අසල දෙමටගොඩ මස් මඩුව ලෙස හඳුන්වන කසල අංගනයේද ගින්නක් හටගත් අතර කොළැඹ මහනගර සභාවේ ගිනි නිවන ඒකකය පැමිණ එම ගින්න වහාම මැඩපැවැත්වීමට කටයුතු යොදා තිබුණා.

කිසියම් පුද්ගලයෙකු විසින් සිදු කළ ගිනි තැබීමකින් එම කසල අංගනය මෙලෙස ගිනි ගැනීමට ලක්ව ඇති බවටයි මේ වන විට තොරතුරු වාර්තා වන්නේ.

Share This