භාතිය අනිත් ඇලයට හරවන්න හෙට තවත් මෙහෙයුමක් (VIDEO)

භාතිය අනිත් ඇලයට හරවන්න හෙට තවත් මෙහෙයුමක් (VIDEO)

දැඩි ලෙස රෝගීව මහව පොල්පිතිගම ප්‍රදේශයේ වතුර වළක වැටී සිටි භාතිය හස්ථියාට ප්‍රතිකාර කිරීම අද අට වන දිනටත් සිදු කෙරෙනවා.

මේ අතර දින ගණනාවක සිට එකම ඇලයකට වැතිරී සිටින භාතිය හස්තියා වනජීවී පශු වෛද්‍ය ඒකකයේ අධ්‍යක්ෂ තාරක ප්‍රසාද් මහතා දැනුවත් කර, මහාචාර්ය අශෝක දංගොල්ල මහතාගේ අධීක්ෂණය යටතේ අනෙක් ඇලයට මාරු කිරීම හෙට දිනයේ සිදු කිරීමට නියමිතයි.

යුද හමුදාවේ සහයද ඊට හිමි වනවා.

ඒ සඳහා අවශ්‍ය උපකරණ කිහිපයක් මේ වන විට ලැබී ඇති අතර අනෙක් කටයුතු සූදානම් කෙරෙමින් පවතින බවයි පශු වෛද්‍ය තරිදු විජේකෝන් මහතා සඳහන් කළේ.

ඒ අනුව අට වන දිනටත් පේරාදෙණිය පශු වෛද්‍ය පීඨයේ අධීක්ෂණය යටතේ නිකවැරටිය වනජීවී පශු වෛද්‍ය ඒකකය භාතිය හස්තියාට ප්‍රතිකාර කිරීමේ කටයුතු සිදු කරනු ලබනවා.

මහාචාර්ය අශෝක දංගොල්ල මහතාගේ උපදෙස් මත තවත් ඖෂධ වර්ග කීපයක් හස්තියාට ලබාදීම මේ වනවිට සිදු කෙරෙන අතර මේ වන විට ශරීරයේ තිබූ තුවාල බොහෝමයක් සුව වෙමින් පවතින බවයි පශු වෛද්‍ය තරිඳු විජේකෝන් මහතා සඳහන් කලේ.

එමෙන්ම ඊට අමතරව ඇතා දැන් සුපුරුදු රිද්මයකින් ආහාර ගැනීම සිදු කරන බවද පශු වෛද්‍ය තරිඳු විජේකෝන් මහතා පැවසුවා.

මේ අතර භාතිය හස්තියාගේ සෞඛ්‍ය තත්ත්වය සම්බන්දයෙන් අප පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ පශු වෛද්‍ය මහාචාර්ය අශෝක දංගොල්ල මහතාගෙන් විමසීමක දී පැවසුවේ
‘භාතිය’ හස්තියාගේ සෞඛ්‍ය යම් යහපත් තත්ත්වයක් පෙන්නුම් කළ ද තවදුරටත් අවධානම් මට්ටමක පවතින බවයි.
———–
මේ අතර වනජීවී දෙපාර්තමේන්තුව පෙන්වා දෙන්නේ තවත් වෙඩි වැදීම් ඇතුලූ විවිධ අනතුරු හේතූවෙන් තුවාල ලැබූ අලි ඇතුන් 8 දෙනෙකු පමණ ප්‍රමාණයක් මේ වන විට ප්‍රතිකාර ලබමින් සිටින බවයි.

එමෙන්ම පසුගිය වසරේ සමස්තයක් ලෙස වන අලි මරණ 388 ක් වාර්තා වී තිබෙනවා.

2025 වසරේ එනම් මේ වසරේ පසුගිය ජූලි 07 වනදා දක්වා කාලය තුළ වන අලි මරණය 218 වාර්තා වී ඇති බවයි වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ.

Share This