පිරමීඩ ආයෝජන නවත්වන්න මහ බැංකුවෙන් දැනුවත් කිරීමේ සතියක්

පිරමීඩ ආයෝජන නවත්වන්න මහ බැංකුවෙන් දැනුවත් කිරීමේ සතියක්

පිරමීඩාකාර මූල්‍ය යෝජනා ක්‍රම සමග සම්බන්ධවීම මෙන්ම සමාජය තුළ ප්‍රචලිතවීම රටේ මූල්‍ය පද්ධතියේ ස්ථාවර බව බිද වැටීමට වුව හේතුවිය හැකි බවට මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා අනතුරු අගවනවා.

ඔහු පෙන්වා දෙන්නේ මෙමගින් බැංකු ක්‍රියාවලිය මෙන්ම මූල්‍ය පද්ධතියේ විශ්වසනීය බව සහ සමස්ත ආර්ථිකයම පවා අවදානමට ලක්වන තත්ත්වයක් උද්ගත විය හැකි බවයි.

මේ වන විට පිරමීඩ යෝජනා ක්‍රම ව්‍යාප්තියේ වැඩිවීමක් පෙන්නුම් කරන බව පෙන්වා දෙන මහ බැංකු අධිපතිවරයා මෙයට හේතුවී ඇත්තේ බොහෝ දෙනකු තුල ඇති නොදැනුවත් කම බව ද පවසනවා.

මේ හේතුව නිසා ශ්‍රී ලංකා මහ බැංකුව , අධ්‍යපන අමාත්‍යාංශය,රාජ්‍ය පරිපාලන ස්වදේශ කටයුතු අමාත්‍යාංශය, ශ්‍රී ලංකා පොලීසිය,ත්‍රිවිධ හමුදා මූලස්ථානය සහ මහජන ආරක්ෂක දෙපාර්තමේන්තුව යන ආයතනවල සහය ඇතිව මහ බැංකුවේ ප්‍රාදේශීය කා‍ර්යාල හරහා හෙට සිට දැනුවත් කිරීමේ සතියක් ආරම්භ කිරීමට පියවර ගෙන ඇති බවයි මහබැංකු අධිපතිවරයා සදහන් කළේ.

ජූලි 14 – ජූලි 18 දක්වා පිරමීඩ යෝජනා ක්‍රම මැඩපැවැත්වීම සදහා දැනුවත් කිරීමේ සතියක් ක්‍රියාත්මකයි.

ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා පැවසුවේ මීට සමන අනවසර තැන්පතු භාරගන්නා ආයතන , විශේෂයෙන් වගා ආයෝජන , ක්‍රිප්ටෝ ආයෝජන සහ අධ්‍යාපන ව්‍යාපෘති වැනි විවිධ ක්‍රම ඔස්සේ ආයෝයන තැන්පතු බාර ගැනීමේ වර්ධනයක් ද දක්නට ලැබෙන බවයි.

පිරමීඩ යෝජනා ක්‍රම මෙන්ම විවිධ ආයෝජන මුවාවෙන් අනවසර තැන්පතු ඒකරාශි කරන ජාවාරම් කරුවන් මෙරටින් මුළුමනින්ම තුරන් කිරීම දැනුවත් කිරීමේ සතියේ අරමුණ බව ද මහ බැංකු අධිපතිවරයා සදහන් කළා.

 

Share This