නීති විරෝධීව ආනයනය කළ යතුරු පැදි සගවාගෙන සිටි හම්බන්තොට කුරුළු උයනේ අයිතිකරු අත්අඩංගුවට (VIDEO)

නීති විරෝධීව ආනයනය කළ යතුරු පැදි සගවාගෙන සිටි හම්බන්තොට කුරුළු උයනේ අයිතිකරු අත්අඩංගුවට (VIDEO)

අධි ධාරිතාවකින් යුත් යතුරුපැදි 21ක් නීති විරෝධී ලෙස මෙරටට ගෙන්වීමේ සිද්ධිය සම්බන්ධයෙන් හම්බන්තොට කුරුළු උද්‍යානයේ හිමිකරු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඔහු අද හම්බන්තොට මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.

අධි ධාරිතාවකින් යුතු යතුරුපැදි තොගයක් මෙරටට ආනයනය කර ඇති බවට වැඩබලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා වෙත ලද පෞද්ගලික තොරතුරක් මත පසුගිය 12 වැනිදා හම්බන්තොට කුරුළු උද්‍යාන පරිශ්‍රයේ පිහිටි ගබඩාවක වැටලීමක් සිදුකළා.

ඒ අනුව සූක්ෂම ලෙස සඟවා තිබූ අධි ධාරිතාවකින් යුතු රුපියල් කෝටි 25කට අධික වටිනාකමින් යුතු යතුරුපැදි 21ක් මෙහිදි පොලිස් භාරයට ගනු ලැබුවා.

පොලිස් භාරයට පත් එම අධි බලැති යතුරුපැදියක වටිනාකම රුපියල් කෝටි එක හමාරක් පමණ වන බවට වාර්තා වුණා.

ඒ අනුව මෙම ජාවාරම සම්බන්ධයෙන් පසුගියදා හම්බන්තොට කුරුළු උද්‍යානයේ කළමනාකරු සහ ගබඩා පාලකවරයා අත්අඩංගුවට ගත් අතර ඔවුන් හම්බන්තොට මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ලබන 27 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමටයි හම්බන්තොට මහේස්ත්‍රාත්වරිය නියෝග කළේ.

එමෙන්ම කුරුළු උද්‍යානයේ හිමිකරු වන 52 හැවිරිදි අජිත් ගාල්ලගේ නැමැති පුද්ගලයාද අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙසට නියෝග කළ මහේස්ත්‍රාත්වරිය ඔහුට විදෙස් ගමන් තහනමක් ද පනවනු ලැබුවා.

ඒ අනුව ඊයේ (16) මරදාන පොලිසිය හම්බන්තොට කුරුළු උද්‍යානයේ හිමිකරු අත්අඩංගුවට ගත්තා.

ඔහු අද හම්බන්තොට මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.

මෙම අති නවීන යතුරුපැදි මීට වසර 05කට පමණ පෙර ආනයනය කර ඇති බවයි වාර්තා වන්නේ.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පැවසුවේ මෙම වංචාව සඳහා දේශපාලන සම්බන්ධතා මෙන්ම රේගු නිලධාරීන්ගේ සහය ලැබී ඇත්දැයි සොයා බැලීම සඳහා පොලිස් මධ්‍යම විමර්ශන කාර්යාංශය විසින් පුළුල් විමර්ශනයක් ආරම්භ කර ඇති බවයි.

Share This