වියට්නාමයේ සංචාරක බෝට්ටුවක් පෙරළී 37 කට වැඩි පිරිසක් මරුට (VIDEO)

වියට්නාමයේ සංචාරක බෝට්ටුවක් පෙරළී 37 කට වැඩි පිරිසක් මරුට (VIDEO)

අයහපත් කාලගුණය අතරතුර වියට්නාමයේ සංචාරක බෝට්ටුවක් පෙරළීමෙන් අවම වශයෙන් පුද්ගලයින් 37 දෙනෙකු මිය ගොස් ඇති අතර තවත් කිහිප දෙනෙකු තවමත් අතුරුදහන් වී ඇතැයි වාර්තා වනවා.

මෙම සිදුවීම වාර්තා වන්නේ එරට උතුරේ ජනප්‍රිය සංචාරක ගමනාන්තයක් වන හා ලොන්ග් බොක්කෙහියි.

බොහෝ මගීන් හැනෝයි අගනුවර සිට පැමිණි වියට්නාම පවුල් බව වාර්තා වනවා.

දිවි ගලවා ගත් අය සෙවීමේ කටයුතුවලට අධික වර්ෂාව බාධාවක් වී ඇති බව ගලවා ගැනීමේ කණ්ඩායම් පවසන නමුත් මේ වන විට පුද්ගලයින් 11 දෙනෙකු මුදා ගැනීමට කටයුතු කර තිබෙනවා.

වියට්නාම දේශසීමා ආරක්ෂකයින් සහ නාවික හමුදාවේ ප්‍රකාශයක පවසන්නෙ වොන්ඩර් සීස් ලෙස නම් කර ඇති මෙම යාත්‍රාව හදිසි කුණාටුවකට මුහුණ දී පෙරළෙන විට පුද්ගලයින් 53 දෙනෙකු රැගෙන යමින් සිටි බවයි.

ඊයේ (19) දේශීය වේලාවෙන් ප.ව. 14:00 ට පමණ අහස අඳුරු වූ බව ඇසින් දුටු සාක්ෂිකරුවෙක් ජාත්‍යන්තර ප්‍රවෘත්ති ඒජන්සියක් පැවසුවා.

“ධාරානිපාත වර්ෂාව, ගිගුරුම් සහිත වැසි සහ අකුණු සමඟ ඇඟිලි තරම් විශාල හිම කැට වැසි” පැවති බව විදෙස් මාධ්‍ය සදහන් කළා.

ප්‍රාදේශීය මාධ්‍ය පවසන්නේ උඩු යටිකුරු වූ බඳෙහි පැති කොටසක සිරවී සිටි අවුරුදු 10 ක පිරිමි ළමයෙකු බේරා ගත් බවයි .

“මම ගැඹුරු හුස්මක් ගත්තා… කිමිදුණා, පසුව පිහිනුවා. මම උදව් ඉල්ලා කෑ ගැසුවා, පසුව බෝට්ටුවකින් මාව ඉහළට ගත්තා”, ඔහුගේ දෙමව්පියන් සමඟ ගමන් කරමින් සිටි පිරිමි ළමයකු – රාජ්‍ය මාධ්‍ය ආයතනයක් වන වියට්නාම්නෙට් වෙත පැවසා තිබුණා.

මේ දක්වා සොයා ගන්නා ලද මළ සිරුරු වලින් අවම වශයෙන් අට දෙනෙකු දරුවන් බව එරට මාධ්‍ය වාර්තා කරයි.

ක්වාං නින් පළාතේ හ ලෝන්ග් බොක්ක කුඩා දූපත් සිය ගණනකින් පිරී ඇති අතර මෙම ප්‍රදේශය 2019 දී සංචාරකයින් මිලියන 4 ක් ආකර්ෂණය කර ගැනීමට සමත්ව තිබෙනවා.

එය යුනෙස්කෝ ලෝක උරුම අඩවියට අයත් ප්‍රදේශයක්.

Share This