අපවත්  වී වදාල අස්ගිරි අනු නාහිමි දේහය අද අස්ගිරි මහා විහාරය වෙත (VIDEO)

අපවත් වී වදාල අස්ගිරි අනු නාහිමි දේහය අද අස්ගිරි මහා විහාරය වෙත (VIDEO)

අපවත් වී වදාල අස්ගිරි මහා විහාර පාර්ශ්වයේ අනුනායක පූජ්‍ය ආනමඩුවේ ශ්‍රී ධම්මදස්සී නාහිමියන් ගේ දේහය මේ වන විට මහජන ගෞවරය උදෙසා ගොහාගොඩ ලියන්ගස්තැන්න පුරාණ විහාරයේ තැන්පත් කර තිබෙනවා.

උන්වහන්සේගේ දේහය අද (22)පස්වරුවේ අස්ගිරි මහා විහාරය වෙත වැඩම කරවීමට නියමිත අතර දේහය පිළිබඳ අවමංගල්‍ය පූජෝත්සවය එලඹෙන 24 වැනිදා මහනුවරදී පූර්ණ රාජ්‍ය අනුග්‍රහය ඇතිව සිදු කිරීමට නියමිතයි.

දශක ගණනාවක් මුළුල්ලේ සිරිලක උතුම් සම්බුදු සසුන එකළු කරන්නට කැපවූ යතිවරනමක ලෙසයි ආනමඩුවේ සද්ධර්ම කීර්ති ශ්‍රී රතනපාල බුද්ධරක්ඛිත ධම්මදස්ස්‍යාභිධාන මහා විහාර වංශික ශ්‍යාමෝපාලී මහා නිකායේ අස්ගිරි මහා විහාර පාර්ශ්වයේ අනුනාහිමියන් සැලකෙන්නේ.

1958 වසරේ සැප්තැම්බර් මස 3 වැනිදා මෙලොව එළිය දුටු රාජකාරුණා හේරත් මුදියන්සේලාගේ උපාලි රාජකරුණා නම් වූ පිංවත් කුල කුමරු ඉපිද 1976 වසරේ මැයි මස 19 වැනිදා ආනමඩුවේ ධම්මදස්සී නමින් උන්වහන්සේ පැවිදි බිමට පිවිසියා.

පේරාදෙණිය විශ්වවිද්‍යාලයෙන් පාලි භාෂාව පිළිබඳව විශේෂ උපාධියක් ලබා ගත් උන්වහන්සේ කැලණිය විශ්වවිද්‍යාලයේ පාලි හා බෞද්ධ අධ්‍යයනය පිළිබඳ පශ්චාත් උපාධිය සම්පූර්ණ කරනු ලැබුවා.

ඓතිහාසික කුරුණෑගල ඇත්කඳ රජමහා විහාරාධිපතිධුරයේ මෙන්ම ශ්‍රී ලංකා භික්ෂු විශ්වවිද්‍යාලයේ හිටපු කථිකාචාර්ය පදවි සහ අධ්‍යාපනපති පදවියද හොබවා උන්වහන්සේ වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම සිරිලක සම්බුද්ධ ශාසනයේ මතු පැවැත්වම උදෙසා මෙහෙවර සිදු කළ සංඝපීතෲන් වහන්සේ නමක වනවා.

අස්ගිරි මහා විහාරයේ සම්ප්‍රදායන් ආරක්ෂා කරමින් උතුම් වූ දන්ත ධාතූන් වහන්සේ උදෙසා තේවා කටයුතු නිසි අයුරින් ඉෂ්ඨ සිද්ධ කළ උන්වහන්සේ බටහිර සහ ආසියාතික රටවල් රැසක බෞද්ධාගමික සහ ශාස්ත්‍රීය කටයුතුවල නිරතව මහඟු මෙහෙවරක් සිදුකරන්නට වුණා.

එවන් අමිල සම්පතක් බඳු උන්වහන්සේ හදිසියේ ඇති වූ රෝගී තත්ත්වයක් හේතුවෙන් මහනුවර පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටියදීයි ඊයේ අලූයම අපවත් වන්නට යෙදුනේ.

අපවත් වන විට උන්වහන්සේ 67 වන වියේයි පසු වුණේ.

උන්වහන්සේගේ දේහය ඊයේ රාත්‍රියේ මහනුවර පෞද්ගලික මල් ශාලාවක සිට රිය පෙරහරකින් ගොහාගොඩ ලියන්ගස්තැන්න පුරාණ විහාරස්ථානය වෙත මෙලෙස රැගෙන එනු ලැබුවා.

මේ වන විට උන්වහන්සේගේ දේහය ගොහාගොඩ ලියන්ගස්තැන්න පුරාණ විහාරස්ථානයේ මහජන ගෞරවය උදෙසා තැන්පත් කර ඇති අතර මේ වන විටත් බොහෝ පිරිසක් උන්වහන්සේට අවසන් ගෞරව දැක්වීම සඳහා පැමිණෙමින් සිටිනවා.

අපවත් වී වදාල අස්ගිරි මහා විහාර පාර්ශ්වයේ අනුනායක පූජ්‍ය ආනමඩුවේ ශ්‍රී ධම්මදස්සී නාහිමියන් ගේ දේහය අද පස්වරුවේදී ගොහාගොඩ ලියන්ගස්තැන්න විහාරයේ සිට අස්ගිරිය උඩුගම ශ්‍රී බුද්ධරක්ඛිත මහ නාහිමි අනුස්මරණ ශාලාවේ එළඹෙන 24 වැනිදා දක්වා මහජන ගෞරවය වෙනුවෙන් තැන්පත් කිරීම සඳහා රැගෙන ඒමට නියමිතයි.

උන්වහන්සේගේ දේහය පිළිබඳ අවමංගල්‍ය පූජෝත්සවය එළඹෙන 24 වැනිදා මහනුවර අස්ගිරිය පොලිස් ක්‍රීඩාංගනයේදී පූර්ණ රාජ්‍ය අනුග්‍රහය සහිතව පැවැත්වීමටයි තීරණය වී ඇත්තේ.

Share This