
ඉටි කෞතුකාගාරයක් වූ ඇහැළේපොළ වලව්ව (VIDEO)
මහනුවර රජවීදියේ පිහිටි ඇහැළේපොළ වලව්ව ශ්‍රී වික්‍රම රාජසිංහ රජුගේ පාලන සමයේදී ඇහැලේපොල මහ අධිකාරම් සහ ඔහුගේ පවුලේ සාමාජිකයන් ජීවත්වූ නිවස බවට සැලකෙනවා.
සෙංකඩගල රාජධානිය සමයේ ඇහැලේපොළ මහ නිලමේ,රාජකාරි සම්බන්ධයෙන් රජු සම්මුඛ වීමට සෙංකඩගල නුවරට පැමිණි අවස්ථාවලදී සිය නිල නිවෙස ලෙස භාවිත කර ඇත්තේ මෙම වලව්වයි.
එය පිහිටා ඇත්තේ මහනුවර රජ මාලිගයේ සිට මීටර කිහිපයක් නුදුරින් පෙනෙන මානයේයි.
1814 මැයි 17 වෙනිදා ශ්‍රී වික්‍රම රාජසිංහ රජ්ජුරුවන්ගේ අසාධාරණ නඩු තීන්දුවකින් ඇහැලේපොළ පවුලේ ඉරණම විසදෙන තෙක්ම මේ ඇහැලේපොළ වලව්ව ආදරණිය පවුලකටත් වෙනත් හිතවතුන්ටත් සෙවණ දුන්නා.
ගඩොල්වලින් බිත්ති ඉදිකොට සිංහල උළු සෙවිලි කර සෑදූ ඇහැලේපොළ වලව්ව ඉපැරණි ඕලන්ද ගෘහ නිර්මාණ ශිල්පය සිහිපත් කරවන ගාම්භීර ගොඩනැගිල්ලක්.
මැද මිදුල, වලව්වේ ඇති උස කුලුනු සහ ආරක්කු, වලව්වේ ලී තරප්පු පෙළ, සොල්දර ඉහළ මහල, වලව් කාමර සහ ලී උළුවහු පැරණි තත්ත්වයෙන් අදටත් පවතිනවා.
ඇතුළත දොර පියන් සහ උළුවහු තනා ඇත්තේ උඩරට ගෘහ නිර්මාණ ලක්ෂණ අනුවයි.
ශ්‍රී වික්‍රම රාජසිංහ රජු ප්‍රථමයෙන්ම ඇහැලේපොල කුමාරිහාමි හා ඇගේ දරුවන් මෙහි සිර අඩස්සියේ තැබූ බව ඉතිහාසයේ සඳහන් වනවා.
එවකට හිටපු ඉංග්‍රීසි අධිරාජ්‍යවාදීන් විසින් ඇහැලේපොළ වලව්ව සිර ගෙයක් බවට පත්කලේ ඇහැලේපොළ වලව්වේ හිමිකරු වූ ඇහැලේපොළ නිලමේවම පළමු සිරකරුවා බවට පත් කරමින්.
ඇහැලේපොළ නිලමේ පමණක් නොව, සිංහලයාගේ නිදහස් සටනට උර දුන් මොණරවිල කැප්පෙටිපොල නිලමේතුමන් ඇතුළු ජාතික විරුවන් 52 කට මේ ඇහැලේපොළ වලව්ව ආරක්ෂිත සිර කදවුරක් බවට පත්ව තිබෙනවා.
මහනුවර මැගසින් බන්ධනාගාරයට අනුයුක්ත කාන්තා බන්ධනාගාරය ලෙස මේතාක් පවත්වාගෙන ගියේ එදා ඇහැලේපොල වලව්ව වූ බිමයි.
මහනුවර ඓතිහාසික ඇහැලේපොළ වලව්ව, නව පරිච්ඡේදයක් සනිටුහන් කරමින් අනාගත පරපුරට දායාද කිරීම වෙනුවෙන් සහ ඉතිහාසය අධ්‍යනය කිරීම වෙනුවෙන් වාරියපොළ සුමංගල හිමි, ශ්‍රී වික්‍රම රාජසිංහ රජු, ඇහැලේපොළ පවුල, වීර මොනරවිල කැප්පෙටිපොළ, වැනි කන්ද උඩරට රාජධානියේ ප්‍රමුඛ චරිත ගණනාවක ජීවමාන ප්‍රමාණයේ ඉටිරූප නිර්මාණය කරමින් එය ජාතික කෞතුකාගාරක් බවට මේ වන විට පත් කර තිබෙනවා.