රජයේ වෛද්‍ය නිලධාරීන්ගෙන් ආණ්ඩුවට රතු එළියක්

රජයේ වෛද්‍ය නිලධාරීන්ගෙන් ආණ්ඩුවට රතු එළියක්

රෝහල් පද්ධතිය තුළ ඖෂධ නොමැති සහ උපකරණ බාහිරින් මිලදී ගැනීම සඳහා නිකුත් කරන ලද සෞඛ්‍ය අමාත්‍යංශ චක්‍රලේඛයේ ප්‍රායෝගික ගැටලු ඇතැයි රජයේ වෛද්‍ය නිලධාරීන් ගේ සංගමය පවසනවා.

පසුගිය දින කිහිපයේ දී රජයේ වෛද්‍ය නිලධාරීන්යේ සංගමය වෙත සාමාජිකයන් සහ ජනතාවගෙන් ලැබුණු තොරතුරු අනුව රෝහල් පද්ධතිය තුල ඇති ඖෂධ සහ උපකරණ හිඟය සම්භන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශයේ ද , රටේ ජනතාවගේද අවධානය අඛන්ඩව යොමු කර ඇති බව එම සංගමය නිවේදනයක් නිකුත් කරමින් පවසනවා.

රජයේ වෛද්‍ය නිලධාරීන් ගේ සංගමය නිකුත් කළ නිවේදනයේ දැක්වෙන්නේ රෝහල් පද්ධතිය තුළ දිනෙන් දින උග්‍රවන ඖෂධ සහ උපකරණ හිඟය හමුවේ රෝගී සත්කාර සේවාවන් අඛණ්ඩව සහ ගුණාත්මකව පවත්වා ගැනීමට හැකි වී ඇත්තේ සීමාව ඉක්මවා කැපවීම් කරමින් සේවයන් සපයන විශේෂඥ වෛද්‍යවරුන් සහ වෛද්‍යවරුන් හේතුවෙන් බවයි.

ඖෂධ හිඟය මඟ හරවා ගැනීම සඳහා රජය කඩිනමින් කල යුතුව තිබුණු හිඟ ඖෂධ රෝහල් වලට ලබාදීම වෙනුවට සෞඛ්‍ය අමාතයංශය සිදු කර ඇත්තේ කඩිනමින් චක්‍රය ලේඛයක් නිකුත් කර රෝගීන්ට ඖෂධ පිටතින් මිලදී ගැනීමට යොමුකරවීම බව අදාල නිවේදනයෙන් පෙන්වා දෙනවා.

ප්‍රතිකාර සේවාවන් අඛණ්ඩව පවත්වා ගැනීම වෙනුවෙන් රෝහල තුල හිඟ ඖෂධ රෝගීන් බාහිරින් ලබා ගැනීම සඳහා සෞඛ්‍ය පද්ධතිය
තුල ගත් විකල්ප ක්‍රමවේද සම්බන්ධයෙන් නෛතික සහ පරිපාලනමය ගැටළු ගණනාවක් පසුගිය සමයේදි මත වූ බව රජයේ වෛද්‍ය නිලධාරීන් පවසනවා.

අවදානමක් ගනිමින් රෝගීන් ගේ ආරක්ෂාව වෙනුවෙන් කැපවන විශේෂඥ වෛද්‍යවරුන් සහ වෛද්‍යවරුන් ආරක්ෂා කිරීම සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශයට කිසිදු වැඩපිළිවෙලක් නැති බව රජයේ වෛද්‍ය නිලධාරීන් ගේ අදහසයි.

රෝහල් පද්ධතිය තුල නොමැති ඖෂධ සහ උපකරණ බාහිරින් ලබාගැනීමට අදාල මාර්ගෝපදේශ සහිත චක්‍රලේඛයක් සෞඛ්‍ය අමාත්‍යාංශය පසුගිය සතියේ නිකුත් කළ බවත් , .මෙම ගැටළුව සම්බන්ධයෙන් සමස්ත වෛද්‍ය ප්‍රජාව තුල ප්‍රබල සාකච්ඡාවක් මතුව පවතින බවත් රජයේ වෛද්‍ය නිලධාරීන් පවසනවා.

මේ අනුව මෙම චක්‍රලේඛය සම්බන්ධයෙන් වෛද්‍යවරු සාකච්ඡ කළ අතර එය රෝහල් පද්ධතිය තුල ක්‍රියාත්මක කිරීමේදී ප්‍රායෝගික නොවන චක්‍රලේඛය හරහා සිදුවනුයේ තවදුරටත් රෝගී සත්කාරක සේවාවන්ට බාධා වීම පමණක් බව රජයේ වෛද්‍ය නිලධාරීන් ගේ අදහසයි.

දිස්ත්‍රික්ක ගණනාවක රෝහල්වල පවතින හිඟ ඖෂධ ලේඛණය ඉදිරිපත් කර නැති බවද රජයේ වෛද්‍ය නිලධරීන් චෝදනා කරනවා.

කුමන ඖෂධ හිඟ දැයි , දිනපතා සායන, බාහිර රෝගී අංශ,වාට්ටු, ශල්‍යාගාර, දැඩිසත්කාර ඒකක ඇතුළු සෞඛ්‍ය සේවා සපයන සියලු ඒකක වෙත අධ්‍යක්ෂකවරුන් විසින් සහතික කොට එවිය යුතු නමුත් බහුතරයක් රෝහල් වල එම කාර්යය අදටත් සිදු නොවන බව විශේෂඥ වෛද්‍යවරුන් සදහන් කරනවා.

රජයේ වෛද්‍ය නිලධාරීන් ගේ සංගමය සිය නිවේදනයෙන් අනතුරු අගවන්නේ මෙම ගැටලු පිළිබදව ඉදිරියේ දී සෞඛ්‍ය බලධාරීන් සමග සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වන බවත් , විසදුම් ප්‍රමාද කිරීමෙන් ජනතාවගේ නිදහස් සෞඛ්‍ය අයිතිය තවත් කප්පාදු වන බවටයි.

Share This