වල් වැදෙන මුලටියන සති පොළ

වල් වැදෙන මුලටියන සති පොළ

රුපියල් ලක්‍ෂ ගණනක මහජන මුදල් වැයකර ඉදිකළ සති පොළක ගොඩනැඟිලි වල් බිහිවී විනාශයට යමින් පවතින බවට තොරතුරක් මුලටියන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයෙන් වාර්තා වනවා.

ගම්වාසීන් අදාළ බලධාරීන්ගෙන් ඉල්ලා සිටින්නේ දිනෙන් දින විනාශ වන මෙම ගොඩනැඟිලි නිසි සංවර්ධන කටයුත්තක් සඳහා යොදා ගන්නා ලෙසයි.

මාතර මුලටියන ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට අයත් ගොබ්බද්දර උතුර මහජන සති පොළ භූමිය ඇත්තේ විනාශයට යමින්.

මීට වසර 20ක පමණ පෙර ඉදිකළ මෙම භූමිය වසර කිහිපයක අවෑමෙන් අත්හැර දැමුණු බවයි ගම්වාසීන් පවසන්නේ.

අනතුරුව අවස්ථා කිහිපයකදී මෙහි අලුත්වැඩියා කටයුත්තක් සිදු කෙරුණද ඉන් අනතුරුව සති පොළේ කටයුතු සිදු කෙරුණේ නැහැ.

මේ වන විට මෙම භූමියේ විවිධ අපචාර කටයුතු සිදු වන බවත් ගම්වාසීන් චෝදනා කරනවා.

මෙම පොළ භූමිය ආසන්නයේ කණිෂ්ඨ විද්‍යාලයක් පිහිටා ඇති අතර එහි සිටින සිසු දරුවන්ද මේ හේතුවෙන් අනාරක්ෂිත තත්ත්වයට පත්ව ඇති බව ගම්වාසීන් පෙන්වා දෙනවා.

මෙම සතිපොළ භූමියට ජල පහසුකම් මෙන්ම වැසිකිලි පහසුකම්ද ලබාදීම සඳහා විශාල මුදලක් වැය කර තිබෙනවා.

දැනට පවතින ගොඩනැඟිලිද වෙනත් සංවර්ධන කටයුත්තක් සඳහා යොදා ගැනීමට සුදුසු වන බවයි ප්‍රදේශවාසීන් පවසන්නේ.

Share This