
හුරුළුවැව කතරගම දේවාලය ආසන්නයේ ගල්ගොඩකින් පතොරම් තොගයක් මතුවේ
හුරුළුවැව, කතරගම දේවාලයට ආසන්නයේ තිබෙන වැවෙහි තොටුපළ සදහා දියනෑමට ඊයේ (23) පැමිණි තරුණයන් තිදෙනෙකු ලබාදුන් තොරතුරු මත පොලීසිය කළ සෝදිසියක දී ගිනි අවි සදහා භාවිත කරන ජීව උණ්ඩ හොගයක් සොයා ගෙන තිබෙනවා.
පොලීසිය සොයාගත් එම උන්ඩ අතර ටී 56 වර්ගයේ උණ්ඩ 10 ක් , LMG වර්ගයේ උණ්ඩ 18 ක්, අත්බෝම්බයක ගැලවී ඇති පින් 01, ටී 56 පතොරම් ගැබක පතුල කොටස් 01, පතොරම් පෙට්ටි ගැලවීමට යොදාගත් යතුරු 01 එම ස්ථානයෙන් සොයාගෙන තිබුණා.
හුරුළුවැව, කතරගම දේවාලයට ආසන්නයේ තිබෙන වැවෙහි තොටුපළ වෙත දියනෑමට පැමිණි තරුණයින් තිදෙනෙක් ඒ ආසන්නයේ ඇති ගල් බැම්මේ ඇවිදිමින් සිටින අතරතුර එක් ස්ථානයක තිබී තරුණයෙකු යම් කිසි උණ්ඩයක් දැක තිබෙනවා.
එම අවස්ථාවේ දී එම තරුණයා අනෙක් තරුණයින් දෙදෙනා දැනුවත් කර ඇති අතර පසුව ඔවුන් එම ස්ථානය තවදුරටත් පරීක්ෂා කිරීමේදී එම ස්ථානයේ තිබී තවත් පතොරම් තොගයක් හමුව තිබුණා.
අප වාර්තාකරු පැවසුවේ අනතුරුව මෙම තරුණයන් තිදෙනා කඩිනමින් 119 පොලිස් හදිසි ඇමතුම් අංකය ඔස්සේ ගලෙන්බිඳුණුවැව පොලිස් ස්ථානය දැනුවත් කිරීමට කටයුතු කර ඇති බවයි.
අනතුරුව වහාම එම ස්ථානයට ගලෙන්බිඳුණුවැව පොලිස් ස්ථානයේ නිලධාරීන් කණ්ඩායමක් පැමිණ පරීක්ෂා කිරීමේදී එම ගල්ගොඩෙහි යටවී තිබූ තවත් පතොරම් කිහිපයක් සොයාගැනීමට හැකි වී තිබෙනවා.
මේ වන විට එම පතොරම් සහ බෝම්බ කොටස් පොලිස් භාරයේ ඇති අතර අද (25) දින පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරීන් කැදවා මෙම ස්ථානය තවදුරටත් පරීක්ෂා කිරිමට පියවර ගත් බව ගලෙන්බිඳුණුවැව පොලිස් ස්ථානාධිපතිවරයා සදහන් කළා.