ආනයන ලොකු ලූනු වැඩි වී පොඩි ගොවියෝ තැලෙයි

ආනයන ලොකු ලූනු වැඩි වී පොඩි ගොවියෝ තැලෙයි

වාර්ෂික පරිභෝජනය සඳහා අවශ්‍ය ලොකු ලූනු ප්‍රමාණය ඉක්මවා ලොකු ලූනු ආනයනය කිරීම හේතුවෙන් තමන්ට දැඩි පීඩා අත්විදීමට සිදුව ඇති බව දේශීය ලොකු ලූනු වගාකරුවන් පවසනවා.

ලොකු ලූනු කිලෝවක් සඳහා රුපියල් 200ක් වැනි මිලක් අපේක්ෂාවෙන් සිටියද අදාළ ගැටලුව හේතුවෙන් සිය අස්වනු අළෙවි කරගත නොහැකි තත්ත්වයක් නිර්මාණය වෙමින් පවතින බවට ඔවුන් චෝදනා කරනවා.

මාතලේ, දඹුල්ල සහ ඒ අවට ප්‍රදේශවල මෙවර විශාල වශයෙන් ලොකු ලූනු වගාකර තිබෙනවා.

මාතලේ දිස්ත්‍රික්කයේ පමණක් හෙක්ටරයාර් 2000ක පමණ ලොකු ලූනු වගාකර ඇති අතර, එවායේ අස්වනු නෙලීම තවත් දින කිහිපයකින් ආරම්භ කිරීමටද නියමිතයි.

මෙවන් පසුබිමක පාකිස්තානය, ඉන්දියාව වැනි රටවල්වලින් දේශීය ලොකු ලූනු අස්වනු නෙලීමට ආසන්න මොහොතක බදු පැනවීමකින් තොරව අසීමිත ලෙස ලොකු ලූනු ආනයනය කිරිමට ඉඩ ලබාදීම අසාධාරණ බවටයි ගොවීන් පවසන්නේ.

ලොකු ලූනු ආනයනය කරනු ලබන ව්‍යාපාරිකයින් පවසන්නේ ඉහළම තත්ත්වයේ ලොකු ලූනු කිලෝවක් රුපියන් 100ට ලබාදිය හැකි බවයි.

මේ වන විට දඹුල්ල, මාතලේ, කැකිරාව හා ගලේවෙල වැනි ප්‍රදේශවල ගබඩා තුළ ආනයනික ලූනු තොග ගබඩා කර ඇති අයුරුද නිරීක්ෂණය කළ හැකියි.

ආනයනික ලොකු ලූනු බහාලුම් ද එම ප්‍රදේශ ආශ්‍රිතව නවතා තිබූ ආකාරයක්ද මෙහිදී දැකගත හැකිවුණා.

ගොවීන්ගේ චෝදනාව වන්නේ ලොකු ලූනු ආනයනයට අදාළව බදු පැනවීමක් සිදුකරනු ඇතැයි යන අපේක්ෂාවෙන් යුතුව මෙලෙස අසීමිත ලෙස තොග ආනයනය කර ඇති බවයි.

බදු පැනවීමෙන් අනතුරුව ලොකු ලූනු වැඩි මිලට අළෙවි කිරීම ව්‍යාපාරිකයින්ගේ අරමුණ වී ඇති බවටද ගොවීන් චෝදනා කළා.

ගෙවීන් පවසන්නේ පවතින තත්ත්වය තුළ ලූනු වගාව අත්හැරීමට දේශීය ගොවීන්ට සිදුව ඇති බවයි.

Share This