තැපැල් වර්ජනය ගැන වෘත්තීය සමිති මත දෙකක – තැපැල්පති වර්ජනය අසාධාරණ බව පවසයි

තැපැල් වර්ජනය ගැන වෘත්තීය සමිති මත දෙකක – තැපැල්පති වර්ජනය අසාධාරණ බව පවසයි

අද (17) ප.ව. 4.00 සිට මධ්‍යම තැපැල් හුවමාරුවත් මධ්‍යම රාත්‍රී 12.00 සිට දිවයින පුර සියලුම තැපැල් සහ පාලන කාර්යාල අඛණ්ඩ වැඩ වර්ජනයක් ක්‍රියාත්මක කරන බවට දැනුම් දී ඇතැයි තැපැල්පති එස්.ආර්.ඩබලිව.එම්. ආර්.පී. සත්කුමාර මහතා නිවේදනයක් නිකුත් කරමින් පවසනවා.

එම නිවේදනයේ දැක් වෙන්නේ මෙම අඛණ්ඩ වැඩවර්ජනය ඉල්ලීම් 19 ක් ඉදිරිපත් කරමින් සිදුකරන බවටයි.

රාජ්‍ය පරිපාලන චක්‍රලේඛ අංක 10/2025 අනුව තැපැල් දෙපාර්තමේන්තුවේ නිලධාරීන් සදහා අතිකාල ගෙවීම සම්භන්ධයෙන් ආයතන අධ්‍යක්ෂ ජනරාල් විසින් ලබා දී ඇති උපදෙස් අනුව කටයුතු කිරීම ස්ම්බන්ධයෙන් විරෝධය පළ කිරීම ඉන් එක් කරුණක්.

තැපැල් දෙපාර්තමේන්තුවේ සියලුම පාලන කාර්යාල හා ගිනුම් කාර්‍යාලවල නිලධාරීන් ඇගිලි සලකුණු යන්ත්‍රයේ පැමිණීම හා පිටවීම සටහන් කළ යුතු බවට ලබා දී ඇති උපදෙස් වලට විරෝධය දැක්වීම වර්ජනයේ නිරත වන පිරිසේ තවත් කරුණක් වනවා.

තැපැල්පතිවරයා පෙන්වා දෙන්නේ ඉහත කරුණු දෙකම රජයේ ප්‍රතිපත්තිමය කරුණු බවයි.

එයට විරෝධය පළ කර වැඩවර්ජනයක යෙදීම අසාධාරණ බව තැපැල්පතිවරයා පෙන්වා දෙනවා.

රාජ්‍ය පරිපාලන චක්‍රලේඛ අංක 10/2025 මගින් රාජය සේවයේ වැටුප් වැඩිකිරීමක් සිදුව ඇති අතර එම වැටුප් අනුව සියලුම රාජ්‍ය සේවකයන් ලනාගතයුතු අතිකාල ප්‍රමාණ සම්බන්ධයෙන් පැහැදිලි උපදෙස් ලබාදී ඇතිබව ද තැපැල්පතිවරයා සදහන් කරනවා.

තැපැල්පතිවරයා සිය නිවේදනයෙන් පෙන්වා දෙන්නේ ඒ අනුව තැපැල් දෙපාර්තමේන්තුවේ නිලධාරීන් සියයට 40 කට ආසන්න අතිකාල දීමනා මෙන්ම මාසික වැටුප් ද ඉතා ඉහළ අගයකින් වැඩිවී ඇති බවයි.

තැපැල් දෙපාර්තමේන්තුව සදහා අනෙක් දෙපාර්තමේන්තුවලට වෙනස් ආකාරයෙන් පැයකට සියයට 25 ක් හෝ සියයට 50 ක ප්‍රසාද පැය ඇතුලත්ව අතිකාල ගණනය සිදු කරන බැවින් ආයතන අධ්‍යක්ෂ ජනරාල් විසින් අතිකාල ගෙවීම් සම්භන්ධයෙන් උපදෙස් ලබා දී ඇතැයි ද තැපැල්පතිවරයා නිකුත්කළ නිවේදනයේ තවදුරටත් සදහන්.

මෙම වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය තැපැල් කාර්‍යාල ජාලයට අයත් උප තැපැල කාර්යාල 3354 ක උප තැපැල් ස්ථනාධිපතිවරුන් සම්බන්ධ නොවන බවට දැනුම් දී ඇතැයි ද තැපැල්පතිවරයා සිය නිවේදනයෙන් පවසනවා.

තැපැල්පතිවරයා පවසන්නේ එම කා‍ර්යාල හෙට දිනයේ සාමාන්‍ය පරිදි සිදුවන බවයි.

කෙසේ වුවත් මෙම වර්ජනය හේතුවෙන් තැපැල් භාණ්ඩ ප්‍රවාහනයට බාධා ඇතිවිය හැකි බවට ද තැපැල්පතිවරයා පැවසුවා.

මේ අතර ලංකා තැපල් සේවක සංගමයේ සභාපති ජගත් මහින්ද මහතා පවසන්නේ තැපැල් වෘත්තීය සමිති ඉල්ලා සිටි ඉල්ලීම් 19 න් 17 කට මේ වනවිටත් රජය විසදුම් ලබා දී වෙති බවත් , බහුතර සේවකයින් හෙට වර්ජනය පිළිබද එකගතාවක් නැති බවත් පවසනවා.

ඔහු පවසන්නේ හෙට බොහෝ සේවකයින් සේවයට වාර්තා කිරීමට සූදානමින් සිටින බවයි.

මේ අතර හෙට වර්ජනය මෙහෙයවන ඒකාබද්ධ තැපැල් වෘත්තීය සමිති පෙරමුණ පවසන්නේ අද ප.ව. 4.00 සිට මධ්‍යම තැපැල් හුවමාරුවත් ,මධ්‍යම රාත්‍රී 12.00 සිට සෙසු උප තැපැල් කාර්යාලත් වර්ජනයට එක්වන බවටයි.

තම සංගමය තැපැල්පතිවරයා සහ අධ්‍යකෂ ජනරාල්වරයා සමග අදාල ගැටලු සාකච්ඡා කළ ද අවසන් එකගතාවකට පැමිණීමට නොහැකි වීම මේ වර්ජනයට හේතුව බව ඒකාබද්ධ තැපැල් වෘත්තීය සමිති පෙරමුණේ සම කැදවුම්කරු චින්තක බණ්ඩාර පැවසුවා.

ඔහු මෙම මාධ්‍ය හමුවේදී පැවසුවේ වැටුප් වෙඩිවීමට සාපේක්ෂව අතිකාල ගෙවීම් ද වැඩිවී ඇතිබව පිළිගන්නා නමුත් පැයක දීමනාව අඩුවී ඇති බවයි.

 

 

චින්තක බණ්ඩාර – ඒකාබද්ධ තැපැල් වෘත්තීය සමිති පෙරමුණ – සම කැදවුම්කරු

 

ජගත් මහින්ද – ලංකා තැපල් සේවක සංගමය – සභාපති

 

 

 

 

 

 

Share This