පාතාල ක්‍රියාකාරකම් මැඩීමට මල්වතු – අස්ගිරි මහනාහිමිවරුන් ගෙන් පොලිස්පතිට ඉල්ලීමක් (VIDEO)

පාතාල ක්‍රියාකාරකම් මැඩීමට මල්වතු – අස්ගිරි මහනාහිමිවරුන් ගෙන් පොලිස්පතිට ඉල්ලීමක් (VIDEO)

රට පුරා ක්‍රියාත්මක පාතාල ක්‍රියාකාරකම් වහා මැඩලීමට පියවර ගන්නා ලෙස මල්වතු – අස්ගිරි මහ නාහිමිවරුන් නව පොලිස්පතිවරයා ඉල්ලා තිබෙනවා.

උන්වහන්සේ මෙම ඉල්ලීම කර ඇත්තේ පොලිස්පතිවරයා අද උදෑසන මහනුවරට පැමිණ මල්වතු අස්ගිරි මහ නාහිමිවරුන් බැහැදුටු අවස්ථාවේදීයි.

නව පොලිස්පතිවරයා ලෙස පත් වූ නීතීඥ ප්‍රියන්ත වීරසූරිය මහතා අද පෙරවරුවේ මහනුවර ඓතිහාසික දළදා මාලිගය වෙත පැමිණ දළදා වහන්සේ වැඳ පුදා ගෙන ආශිර්වාද ලබා ගත්තා.

එහිදී දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑල මහතාද හමුවී කෙටි පිළිසඳරක නිරත වූ පොලිස්පතිවරයා ඉන් අනතුරුව මල්වතු මහා විහාරය වෙත පැමිණ මල්වතු පාර්ශ්වයේ මහ නායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සුමංගල නා හිමියන් බැහැ දැක මෙලෙස ආශිර්වාද ලබා ගත්තා.

ඉන් අනතුරුව පොලිස්පතිවරයා මල්වතු පාර්ශ්වයේ අනු නායක පූජ්‍ය දිඹුල්කුඹුරේ ශ්‍රී විමලධම්ම නාහිමියන්ද බැහැ දැක ආශිර්වාද ලබා ගැනීමට කටයුතු කළා.

මහනුවර අස්ගිරි විහාරය වෙත ද පැමිණි නව පොලිස්පතිවරයා අස්ගිරි පාර්ශ්වයේ මහා නායක අතිපූජ්‍ය වරකාගොඩ ශ්‍රී ඥාණරතන නාහිමියන් බැහැ දැක උන්වහන්සේ ගේ ආශ්‍රිවාද ලබා ගත්තා.

Share This