
රනිල්ට එරෙහිව ඇති අධිකරණ චෝදනා මෙන්න
ලබන 26 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කළ හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා බන්ධනාගාර රෝහලට මාරු කළ බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව පැවසුවා.
අප කළ විමසීමකදී එහි ප්‍රකාශකවරයකු සඳහන් කළේ රනිල් වික්‍රමසිංහ මහතාගේ රුධිර පීඩන තත්ත්වය හා සීනි මට්ටම ඉහළයාම හේතුවෙන් වෛද්‍ය උපදෙස් මත ඔහු බන්ධනාගාර රෝහලට මාරු කළ බවයි.
හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහිව එල්ල වී ඇති චෝදනා වන්නේ සිය පාලන සමය වන 2022 සිට 2023 අතර කාලය තුළ පෞද්ගලික විදේශ සංචාරයක් සඳහා රජයේ මුදල් අවභාවිත කිරීමේ සිද්ධියක්.
ඒ 2023 වසරේ සැප්තැම්බර් 22 සහ 23 යන දිනවල පෞද්ගලික සංචාරයක් ලෙස අගවා රජයේ මුදල් භාවිත කරමින් සිය බිරිඳ වන මහාචාර්ය මෛත්‍රී වික්‍රමසිංහ මහත්මියගේ උපාධි ප්රදානෝත්වයකට සහභාගී වීමට එංගලන්තයේ ලන්ඩන් නුවරටයාමයි.
එම සංචාරය සඳහා රනිල් වික්‍රමසිංහ මහතා සමඟ 10 දෙනෙකු එක්ව තිබෙනවා.
ඊයේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කැඳවීමකට අනුව රනිල් වික්‍රමසිංහ මහතා පැය 4 කට අධික කාලයක් ප්‍රකාශ ලබාදීමෙන් අනතුරුව අත්අඩංගුවට පත් වුණා.
නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් අදාළ පෞද්ගලික සංචාරය පිළිබඳව තවදුරටත් අනාවරණය වූ කරුණු සම්බන්ධයෙන් අධිකරණයට එම කරුණු ඉදිරිපත් කළා.
මෙම දින එක හමාරක සංචාරය තුළ වාහන සඳහා රුපියල් 4,475,160 ක් මුදලක්ද වාහන අත්තිකාරම් වශයෙන් සහ රුපියල් ලක්ෂ 14 ආසන්න මුදලක් ද, ආහාර පාන සඳහා රුපියල් ලක්ෂ 13 කට අධික මුදලක්ද, හෝටල් පහසුකම් සඳහා රුපියල් ලක්ෂ 34 කට ආසන්න මුදලක්ද ගුවන් තොටුපොළේ අමුත්තන් පරිහරණය කරන ස්ථානය වෙන් කර ගැනීම සඳහා බ්‍රිතාන්‍ය පවුම් 6,000 මුදලක් ද වැය කර තිබෙන බවත් නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා අධිකරණය හමුවේ ප්‍රකාශ කළා.
එමෙන්ම සංචාරයට සහභාගි වූ පොලිස් නිලධාරීන්ට පොලිස් දෙපාර්තමේන්තුවෙන් රුපියල් 3,274,301/- ක මුදලක් ගෙවා ඇති බවත් සැකකරුගේ පෞද්ගලික සහකාර වශයෙන් කටයුතු කළ සැන්ඩ්‍රා පෙරේරා මහත්මියට රුපියල් 39,000/- ක දීමනාවකුත් ගෙවා ඇති බව නියෝජ්‍ය සොලිසිටර් ජෙනරල්වරයා අධිකරණය හමුවේ පැවසුවා.
අධිකරණය හමුවේ කරුණු දක්වමින් නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා ප්‍රකාශ කළේ රටේ ආර්ථික අර්බුදයක් පැවති අවස්ථාවක, ඩොලරයක් සොයා ගැනීමට පවා අපහසු තත්ත්වයක් තිබිය දී පාලකයා වශයෙන් මෙම සැකකරු සිය පෞද්ගලික සංචාරය සඳහා මේ ආකාරයෙන් රජයේ මුදල් වැය කිරීම සම්පූර්ණයෙන්ම වැරදි ක්‍රියාවක් බවයි.
”සැකකාර රනිල් වික්‍රමසිංහ මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ලබාදුන් ප්‍රකාශය තුළින් පිළිගෙන තිබෙනවා ඔහුගේ බ්‍රිතාන්‍ය සංචාරය පෞද්ගලික සංචාරයක් බව. ඒ වගේම සැකකරුගේ පෞද්ගලික සහකාර වශයෙන් කටයුතු කළ සැන්ඩ්‍රා පෙරේරා මහත්මිය ලබා දී ඇති කට උත්තරයේ සඳහන් කර තිබෙනවා තමන් විදේශ කටයුතු අමාත්‍යංශයට යැවූ ඉල්ලීමේ මෙම සංචාරය පෞද්ගලික සංචාරයක් වශයෙන් සඳහන් කර තිබූ බව. එසේ නම් මෙම පුද්ගලික සංචාරය නිල සංචාරයක් බවට පරිවර්තනය කිරීමට කටයුතු කළේ කවුද?” ඒ සම්බන්ධයෙන් විමර්ශන සිදු කරන බවත් නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරයා අධිකරණයට ප්‍රකාශ කළා.
”සැකකරු ප්‍රකාශ කරලා තිබෙනවා තමන්ගේ වැටුප රුපියල් ලක්ෂයක් බව. එසේ නම් මේ ආකාරයෙන් වියදමක් දරන්නේ කෙසේද?” යනුවෙන් ප්‍රශ්න කළ නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරයා ජනාධිපතිවරයා යනු මහජනයාගේ භාරකරු බවත් ඔහුට අත්තනෝමතික ආකාරයෙන් මහජන මුදල් වැය කිරීමට හැකියාවක් නොමැති බවත් සඳහන් කළා.
මෙම සිද්ධියට අදාළ විමර්ශන කටයුතු අවසන් වී නොමැති අතර ඊට අදාළව තවත් සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට නියමිතව තිබෙන බවද නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා සඳහන් කළා.
ඒ අනුව මෙම සැකකරුගේ තත්ත්වය තරාතිරම හෝ නිලය සැලකිල්ලට ගෙන සැකකරු ඇප මත මුදා හැරීම සම්බන්ධයෙන් විරුද්ධ වන බව මහෙස්ත්‍රාත්වරිය හමුවේ ප්‍රකාශ කළා.
ඉන් අනතුරුව රනිල් වික්‍රමසිංහ මහතා වෙනුවෙන් ජනාධිපති නීතිඥ අනූජ ප්‍රේමරත්න මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් කුරුණෑගල ප්‍රදේශයේ පදිංචි ජනාධිපතිවරයාගේ ලේකම්වරයෙකු විසින් ඉදිරිපත් කළ පැමිණිල්ලකට අනුව මෙම විමර්ශනය ඇරඹී තිබෙන බව පැවසුවා.
ජාතික විගණන කාර්යාලය මගින් නිකුත් කර ඇති වාර්තාවක මෙම සංචාරය සම්බන්ධයෙන් කරුණු දක්වා තිබෙන බවත් ඒ තුළ අවිධිමත් ක්‍රියාවක් සිදුවී නොමැති බව දක්වා තිබෙන බවත් ජනාධිපති නීතිඥවරයා අධිකරණය හමුවේ කරුණු පෙන්වා දුන් අතර එම වාර්තාව විමර්ශන නිලධාරීන් විසින් සැලකිල්ලට ගෙන නොමැති බවත් ඒ ගැන සැලකිලිමත් වූවානම් මෙවැනි නඩුවක් මතු නොවනු ඇති බවත් ඔහු පෙන්වා දුන්නා.
රටේ ජනාධිපතිවරයෙකුට ලැබෙන ඇරයුම් සියල්ල නිල ඇරයුම් බවත් මෙවැනි සංචාරවලට හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග, ලක්ෂ්මන් කදිරගාමර්, ලලිත් ඇතුළත්මුදලි වැනි නායකයින් සහභාගි වී තිබෙන බවත් අධිකරණය හමුවේ පැවසුවා.
ජනාධිපතිවරයෙකුට සාමාන්‍ය පන්තියේ ගුවන් ටිකට් පතක් ලබාගෙන විදේශයකට ගොස් කුලී රථවල ගමන් කරමින් මිත්රයින්ගේ නිවාසවල නවාතැන් ගනිමින් කටයුතු කළ නොහැකි බව පෙන්වා දුන් ජනාධිපති නීතිඥවරයා එය රාජතාන්ත්‍රික තත්වයක් නොවන බවත් සඳහන් කළා.
තම සේවාදායකයාට හෘද රෝග මෙන්ම පාලනය කළ නොහැකි දියවැඩියා තත්ත්වයන් හා රුධිර පීඩන තත්ත්වයක් පවතින බවත් ඔහුගේ බිරිඳ පිළිකා රෝගී තත්ත්වයක පසුවන බව පෙන්වා දුන් ජනාධිපති නීතිඥවරයා ඊට අදාළ වෛද්‍ය වාර්තා ද අධිකරණයට ඉදිරිපත් කරනු ලැබුවා.
තම සේවාදායකයා හිටපු ජනාධිපතිවරයෙකු වන අතර ආරක්ෂක තර්ජන ගැන සැලකිල්ලට ගැනීමේදී ඔහු රක්ෂිත බන්ධනාගාර ගත කළ හැකිද? යන ගැටලුව මතුවන බවත් ජනාධිපති නීතිඥවරයා සඳහන් කළා.
මෙම කරුණු සුවිශේෂී කරුණු සේ සලකා මෙම සැකකරු ඕනෑම කොන්දේසියක් යටතේ ඇපමත මුදා හැරීමේ නියෝගයක් නිකුත් කරන ලෙසයි ජනාධිපති නීතිඥ අනූජ ප්‍රේමරත්න මහතා වැඩිදුරටත් අධිකරණයෙන් ඉල්ලා සිටියේ.
මෙම නඩු විභාගයේ අතිරේක සොලිසිටර් ජෙනරාල් දිලිප පීරිස් මහතා කරුණු ඉදිරිපත් කළ අවස්ථාවේ විත්තිය වෙනුවෙන් පෙනී සිටි නීතිඥ ගුණරත්න වන්නිනායක මහතා ඊට මැදිහත් වී ප්‍රකාශ සිදු කිරීම නිසා නීතිඥ දෙපළ අතර උණුසුම් වාද විවාද වරින් වර හට ගැනීම දක්නට ලැබුණු අතර එහිදී මහේස්ත්‍රාත්වරියට අවස්ථා කීපයකදී මැදිහත් වී එම තත්ත්වය සමථයට පත්කිරීමට ද සිදු වුණා.
කරුණු සලකා බැලීමෙන් අනතුරුව ඇප ඉල්ලීම පිළිබඳ නියෝගය ප්‍රකාශ කිරීම මිනිත්තු 30කට කල් තැබීමට කොටුව මහේස්ත්‍රාත් නිලුපුලි ලංකාපුර මෙනවිය කටයුතු කළා.
පසුව පස්වරු 6ට පමණ අධිකරණයේ කටයුතු යළි ආරම්භ කරනු ලැබුවත් නඩු විභාගය ආරම්භ කර සුළු වේලාවකට පසු අධිකරණ ශාලාවේ විදුලිය විසන්ධි වීමක් ද සිදු වූ අතර ඒ පිළිබඳව සොයා බැලීමට විදුලි බල මණ්ඩලයේ නිලධාරීන්ද අධිකරණ පරිශ්‍රයට පැමිණියා.
රාත්‍රි 10ට ආසන්න වන විට මහේස්ත්‍රාත්වරිය යළි නඩු කෘත්‍ය ආරම්භ කිරීමට පියවර ගත් අතර එහිදී ඇය නියෝග කළේ හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ලබන 26 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමටයි.
එහිදී ඇප ඉල්ලීම ප්‍රතික්ෂේපවීමට හේතු ලෙස මහේස්ත්‍රාත්වරිය සඳහන් කළේ මෙම නඩු විභාගයේදී ඉදිරිපත් වූ කරුණු විශ්ලේෂණය කිරීමේදී මෙම නඩුකරයට පාදක වන ප්‍රශ්නගත සංචාරය පෞද්ගලික සංචාරයක් බව පෙනී යන බවයි.
එමෙන්ම එම සංචාරය සඳහා සැකකරු රජයේ මුදල් භාවිත කළ බව සැකකාර පාර්ශවයේ නීතිඥවරු ප්‍රතික්ෂේප කර නොමැති බවත් මහේස්ත්‍රාත්වරිය සඳහන් කළා.
පොදු දේපළ පනත යටතේ චෝදනා ඉදිරිපත් වන අවස්ථාවක ඇප ප්රදානය කළ හැක්කේ අසාමාන්‍ය කරුණු අනාවරණය වන අවස්ථාවක පමණක් බවත් එහෙත් මෙම සැකකරුගේ ඇප ඉල්ලීම සම්බන්ධයෙන් ඉදිරිපත් වූ කරුණු තුළ අසාමාන්‍ය කරුණු අනාවරණය නොවන බැවින් මොහුට ඇප ප්රදානය කිරීමට හැකියාවක් නොමැති බවත් මහේස්ත්‍රාත්වරිය ප්‍රකාශ කළා.
ඒ අනුව ඊයේ රාත්‍රියේම රනිල් වික්‍රමසිංහ මහතා බන්ධනාගාර බස් රථයකින් වැලිකඩ මැගසින් බන්ධනාගාරය වෙත රැගෙන ගියා.
මේ අතර හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමෙන් පසු දේශපාලඥයින් කිහිපදෙනෙකුම ඊයේ රාත්‍රියේම මැගසින් බන්ධනාගාරය වෙත පැමිණ තිබුණා.