චෙටේෂ්වර් පුජාරා ක්‍රිකට් පිටියට සමු දෙයි

චෙටේෂ්වර් පුජාරා ක්‍රිකට් පිටියට සමු දෙයි

ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩාවේ ඉන්දියාව වෙනුවෙන් සේවය කළ විශිෂ්ට ක්‍රීඩකයෙකු වන චෙටේෂ්වර් පුජාරා සියලු ආකාරයේ ක්‍රිකට් තරගවලින් විශ්‍රාම යන බව අද (24) නිවේදනය කර තිබෙනවා.

පුජාරා දිගු කලක් ඉන්දියාව වෙනුවෙන් ටෙස්ට් කණ්ඩායමට තරග සඳහා තෝරා නොගත් පසුබිමක මෙම තීරණයට එළඹීම විශේෂයි.

ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය (BCCI) තරුණ විකල්ප සලකා බැලීම සිදු කරමින් සිටින පසුබිමක පුජාරා සිය එක්ස් මාධ්‍ය ගිනුමේ සටහනක් තබමින් පැවසුවේ
ඉන්දියානු ජර්සිය ඇඳ, ජාතික ගීය ගායනා කරමින්, පිටියට පා තබන සෑම අවස්ථාවකම තමන් සිය උපරිමය ඉටු කළ බවයි.

” එහි සැබෑ තේරුම වචනවලින් විස්තර කළ නොහැකියි. නමුත් ඔවුන් පවසන පරිදි, සියලු යහපත් දේ අවසන් විය යුතු අතර, ඉමහත් කෘතඥතාවයෙන් යුතුව මම සියලු ආකාරයේ ඉන්දියානු ක්‍රිකට් වලින් විශ්‍රාම ගැනීමට තීරණය කර ඇත්තෙමි.” යනුවෙන් ඔහු වැඩිදුරටත් සදහන් කර තිබුණා.

2010 ඔක්තෝම්බර් මාසයේදී බැංගලෝරයේ එම්.චින්නස්වාමි ක්‍රීඩාංගණයේදී ඕස්ට්‍රේලියාවට එරෙහිව ඔහුගේ මංගල ටෙස්ට් තරගයේදී, පුජාරා අංක 3 ස්ථානයේ ක්‍රීඩා කරමින් විශිෂ්ට ලකුණු 72ක් ලබා ඉන්දියාව ජයග්‍රහණය කිරීමට උපකාරී වුණා.

ඔහු ඉන්දියාව වෙනුවෙන් එක්දින තරග පහක් ද ක්‍රීඩා කර තිබෙනවා.

පුජාරාගේ විශිෂ්ට ටෙස්ට් දිවියේ දීප්තිමත් අවස්ථාවක් වන්නේ ඔහු පන්දු 1258 කට මුහුණ දෙමින් ලකුණු 521ක් ලබා 2018/19 දී ඕස්ට්‍රේලියාවේ පැවති ඉන්දියාවේ මංගල ටෙස්ට් තරගාවලිය ජයග්‍රහණය කිරීමේදී තරගාවලියේ වීරයා බවට පත්වීමයි.

පුජාරාගේ අවසන් වරට ඉන්දියාව සඳහා ටෙස්ට් තරගයකට ක්‍රීඩා කළේ 2023 දී ඕස්ට්‍රේලියාවට එරෙහිව කෙනින්ග්ටන් ඕවල් හිදී පැවැති තරගයයි.

 

Share This