රනිල් වෙනුවෙන් එරික් සොල්හයිම් ගෙන්  එක්ස් සටහනක්

රනිල් වෙනුවෙන් එරික් සොල්හයිම් ගෙන් එක්ස් සටහනක්

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් අප්‍රසාදය පළ කරමින් සහ ඔහුව නිදහස් කරන ලෙස ඉල්ලා නෝර්වේ ශ්‍රී ලංකා හිටපු සාම නියෝජිත එරික් සෝල්හයිම් සිය එක්ස් ගිණුමේ සටහනක් තබා තිබෙනවා.

එහිදී ඔහු සඳහන් කර ඇත්තේ හිටපු ජනාධිපතිවරයාගේ සෞඛ්‍ය පිළිබඳව ද සැලකිළිමත් විය යුතු බවයි.

එමෙන්ම 2022 වසරේදී ශ්‍රී ලංකාව ආර්ථික හා දේශපාලන ව්‍යසනයකට ළඟා වූ විට ශ්‍රී ලංකාව බේරා ගැනීමට නැගී සිටි නායකයා ඔහු වන බවත් ඔහුට එරෙහි චෝදනාවලට කිසිදු පදනමක් නොමැති බවත් එම සටහන හරහා ඔහු සඳහන් කර තිබෙනවා.

එරික් සෝල්හයිම් සිය එක්ස් ගිණුමේ පණිවුඩයෙන් වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ ශ්‍රී ලංකා රජයේ දූෂණයට එරෙහි ව්‍යාපාරයට තමන් පූර්ණ සහයෝගය ලබා දෙන නමුත් සැබෑ ගැටලු කෙරෙහි අවධානය යොමු කරන ලෙසයි.

මේ අතර රනිල් වික්‍රමසිංහ මහතාගේ සෞඛ්‍ය තත්ත්වය ගැන සැලකීමේදී ඔහුට තවත් දින කිහිපයක් දැඩිසත්කාර ඒකකයේ ප්‍රතිකාර ලැබීමට සිදුවනු ඇති බවයි කොළඹ ජාතික රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂ වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන මහතා පවසන්නේ.

මේ වන විටත් රනිල් වික්‍රමසිංහ මහතා ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකයේ විශේෂඥ වෛද්‍යවරුන්ගේ අධීක්ෂණය යටතේ ප්‍රතිකාර ලබන අතර ඒ මහතාගේ සුවදුක් විමසීම සඳහා අමුත්තන් හමුවීම ද ඊයේ දින සිට සීමා කර ඇති බවයි කොළඹ ජාතික රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂ වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන මහතා පැවසුවේ.

මේ අතර හිටපු ජනාධිපති අත්අඩංගුවට ගැනීම සම්බන්ධව විදේශ තානාපතිවරු දැනුවත් කිරීමේ වැඩසටහනේ පළමු පියවර ලෙස ඊයේ (24) රාත්‍රියේ ඉන්දියානු මහ කොමසාරිස් කාර්යාලය දැනුවත් කර තිබෙනවා.

ඒ සඳහා දෙශපාලන නියෝජිතයින් පිරිසක් ශ්‍රී ලංකා ඉන්දියානු මහ කොමසාරිස් කාර්යාලය වෙත ඊයේ රාත්‍රියේ පැමිණියා.

Share This