මව – පියා ඝාතනය කළ සැකකරුවකු මරා පුළුස්සා වල දැමූ පුතකු අත්අඩංගුවට

මව – පියා ඝාතනය කළ සැකකරුවකු මරා පුළුස්සා වල දැමූ පුතකු අත්අඩංගුවට

ගලේවෙල දේවහුව ප්‍රදේශයේ මීට වසර හයකට ඉහතදී අඹු සැමි යුවලක් නිවස තුළ කපා කොටා ඝාතනය කිරීමේ සිද්ධියකට පලි ගැනීමක් වෙනුවෙන් පුද්ගලයෙකු පහරදී ඝාතනය කොට සිරුර පුළුස්සා වල දැමූ බව කියන සිද්ධියක් සම්බන්ධයෙන් සැකපිට නාවික හමුදාවේ සේවය කරන තරුණයෙකු ෛඊයේ(26) පෙරවරුවේ පොලිසිය අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පොලිසිය සඳහන් කළේ මෙසේ ඝාතනයට ලක්ව ඇත්තේ ගලේවෙල – දේවහුව ප්‍රදේශයේ පදිංචි ඒ .ජි .විමලසේන පනස් නව හැවිරිදි අයෙකු බවයි.

පසුගියසි 25 දා සිට මියගිය පුද්ගලයා අතුරුදහන් වී ඇති බවට මකුළුගස්වැව පොලිසියට පැමිණිල්ලක් ලැබී තිබුණා.

ඒ අනුව මියගිය අයගේ ඥාතීන් පිරිසක් සිදුකළ පැමිණිල්ලක් කඩිනමින් විභාග කළ පොලිසියීයේ පෙරවරුවේ සැකපිට නිවාඩු පැමිණ සිටි නාවික හමුදාවේ සෙබලෙකු අත් අඩංගුවට ගෙන සිදුකළ ප්‍රශ්න කිරීම්වලදී මෙම ඝාතනය පිළිබඳ තොරතුරු හෙළිදරව් කර ගැනීමට හැකි වී තිබෙනවා.

2019 වසරේ අප්‍රේල් මස 16 වන දින දේවහුව ප්‍රදේශයේ නිවසක රැඳී සිටි අඹුසැමි යුවළක් ඉතා අමානුෂික අන්දමින් ඝාතනය කොට තිබුණා.

එම ඝාතනයත් සමඟින් ඉතිරි වී ඇත්තේ එම අඹුසැමි යුවළගේ පිරිමි දරුවන් දෙදෙනා පමණයි.

බාල පුතා එවකට නාවික හමුදාවට බැදී පුහුණු පාඨමාලා නිම කරමින් සිට තිබෙනවා.

මෙම අඹුසැමි යුවළ ඝාතනය කිරීමේ සිද්ධියට චෝදනා එල්ල වී තිබුණේ මියගිය කාන්තාවගේ සහෝදරයන් දෙදෙනෙකුට වන අතර,ඉඩම් ආරවුලක් ඝාතනයට මුල්වී තිබූ බව පොලිසිය කළ විමර්ශන වලදී අනාවරණය වී තිබෙනවා.

ඔවුන් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කොට බන්ධනාගාර ගත කිරීමෙන් අනතුරුව ඇප ලබා නිදහස් වී සිට අතර නඩුව අධිකරණයේ විභාග වෙමින් තිබූ බවට‍යි පොලීසිය පවසන්නේ.

2019 වසරේ තම මව – පියා ඝාතනය කිරීමේ සිද්ධියට සම්බන්ධ බව කියන අධිකරණයෙන් ඇප ලබා සිටින මියගිය කාන්තාවගේ සහෝදරයෙකු මෙසේ ඝාතනය කොට ඇතැයි පොලිස් පරීක්ෂණවලදී හෙළි වී තිබෙනවා.

ඒ අනුව සිද්ධිය සම්බන්ධයෙන් දඹුල්ල මහේස්ත්‍රාත් සහ දිසා විනිසුරු නිලන්ත විමලරත්න මහතාගේ නියෝගයක් අනුව දේවහුවවැව තාවුල්ලේ වල දමා තිබුණු මීට දින දෙකකට පෙර අතුරුදන් වූ පුද්ගලයාගේ මළ සිරුර ඊයේ පස්වරුවේ ගොඩගැනීම සිදු කළා.

එම අවස්ථාවට අත්අඩංගුවේ පසුවන නාවික හමුදාවේ සෙබලාද ගෙන්වා තිබුණා.

සැකකරුගෙන් එහිදී අනාවරණය වූයේ තම මව – පියා ඝාතනය කිරීමේ සිද්දියට පළිගැනීමක් ලෙස තමන් මෙම පුද්ගලයාට මග රැක පහරදී ලොරි රථයක දමාගෙන දේවහුවවැව ඉස්මත්තට රැගෙන විත් පොල් අතු දමා ඔහුගේ සිරුර පුළුස්සා එම ස්ථානයේ වළ දැමූ බවයි.

ඝාතනයට ලක් වූ පුද්ගලයා පැමිණි යතුරුපැදිය ද දඹුල්ල ඉබ්බංකටුව ජලාශයට ගෙනවිත් දැමූ බවත් පොලිසියට සැකකරු විසින් දන්වා තිබෙනවා.

මහේස්ත්‍රාත්වරයා ඉදිරියේ ගොඩගත් පුළුස්සා දැමූ මළ සිරුරේ කොටස් අධිකරණ වෛද්‍ය පරීක්ෂණය සඳහා දඹුල්ල රෝහලට යොමුකර තිබෙනවා.

2019 වසරේ අඹු සැමි යුවළ ඝාතනය කිරීමේ සිද්ධියට කාන්තාවගේ සහෝදරයන් දෙදෙනෙකු සම්බන්ධ බවට අධිකරණයේ නඩුවක් විභාගවන අතරර චෝදනා එල්ල වී ඇති අනෙක් සහෝදරයා ද මරණය ගොඩ ගන්නා අවස්ථාවේ පැමිණ තිබෙනවා.

 

Share This