
අපනයන ඉහළ දමන්න ජනපති වැවිලි අංශයේ ව්‍යාපාරිකයින් සමග සාකච්ඡා
අපනයන ක්ෂේත්රයේ පවතින ගැටලු සම්බන්ධයෙන් යෝජනා සහ අදහස් විමසීම සඳහා වැවිලි ක්ෂේත්රයේ පෞද්ගලික අංශයේ ව්‍යාපාරිකයින් සමඟ 2026 පූර්ව අයවැය සාකච්ඡාවක් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති කාර්යාලයේදී ඊයේ (26) පස්වරුවේදී පැවැත් වුණා.
ජනාධිපති කාර්යාලය පැවසුවේ සැලකිය යුතු ප්‍රමාණයකින් රාජ්‍ය ආදායම වර්ධනය කර ගැනීමටත්, ආර්ථිකයෙහි යම් ස්ථාවරත්වයක් ඇති කිරීමටත් ශ්‍රී ලංකා රජය මේ වන විට සමත් වී ඇති නමුත් රටේ ආර්ථිකය ස්ථාවර වීම සඳහා ඉතා වැදගත් වන ඩොලර් සංචිත ශක්තිමත් කර ගැනීමේ අභියෝගය ජය ගැනිම සඳහා ව්‍යාපාරිකයන්ගේ සහ කර්මාන්තකරුවන්ගේ අදහස් ලබා ගැනීම මෙම සාකච්ඡාවේ අරමුණ වූ බවයි.
එහිදී ව්‍යාපාරිකයන්ට සහ කර්මාන්තකරුවන්ට අවශ්‍ය පහසුකම් සැපයීම රජයේ වගකීම බව ප්‍රකාශ කළ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා රජය, ව්‍යාපාරිකයන්ට සහ කර්මාන්තකරුවන්ට ලබා දෙන පහසුකම්වලට සරිලන සාධාරණ බදු ගෙවීමක් සිදු කළ යුතු බවද පෙන්වා දුන්නා.
ආර්ථිකයට තිරිංග යොදා සීමා කළ නොහැකි බව කියා සිටි ජනාධිපතිවරයා හැකිළී තිබුණු ආර්ථිකය ප්‍රසාරණය කරමින් ඉදිරියට ගෙන යාමට වත්මන් රජය කටයුතු කරමින් සිටින බවද මෙහිදී අවධාරණය කර තිබෙනවා.
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසා ඇත්තේ ආනයන සීමා ලිහිල් කිරීම මගින් රජය සතු ඩොලර් සංචිතයට සිදු වන බලපෑම වළක්වා ගනිමින් ඩොලර් සංචිත ස්ථාවරව පවත්වා ගැනීම සඳහා අපනයන ආදායම් වැඩි කිරීමට රජය කටයුතු කරමින් සිටින බවයි.
ඒ සඳහා නිශ්චිත වැඩසටහනක් රජය සතු බව ද ජනාධිපතිවරයා පවසා තිබෙනවා.
මෙහිදී තේ, පොල් සහ රබර් යන වගා ආශ්රිත අපනයන සම්බන්ධයෙන් මතු වී ඇති ගැටලු පිළිබඳ පුළුල් ලෙස සාකච්ඡාවට ලක් කර තිබෙනවා.
එහිදී එම ක්ෂේත්‍ර තුළ වර්තමානයේ මතු වී ඇති අභියෝග සහ ගැටලු මෙන්ම, ඒවාට සාර්ථකව මුහුණදීම සඳහා වන යෝජනාද මෙම සාකච්ඡාවට එක් වූ නියෝජිතයින් විසින් ජනාධිපතිවරයා වෙත ඉදිරිපත් කර තිබෙනවා.
ඔවුන් එහිදී ජනාධිපතිවරයාගෙන් ඉල්ලා ඇත්තේ පවතින ගැටලුවලට කඩිනම් විසඳුම් ලබා දෙන ලෙසයි.