
දේශගුණික විපර්යාස අවම කිරීමේ පෙත්සමක් විභාගයට ගැනීමට ශ්‍රේෂ්ඨාධිකරණ අවසරය
දේශගුණික විපර්යාස අවම කිරීම සඳහා රජය විසින් ප්‍රමාණවත් පියවර ගෙන නොමැති බවත් ඒ තුළින් මුලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය වීමක් සිදුවන බවට තීන්දුවක් ලබා දෙන ලෙස ඉල්ලා පරිසර යුක්ති කේන්ද්‍ර විසින් ගොනු කර ඇති පෙත්සම අද (08) විභාගයට ගත් අවස්ථාවේදී පෙත්සම ඉදිරියට පවත්වාගෙන යාමට ශ්‍රේෂ්ඨාධිකරණය අවසර ලබාදුන්නා.
පැවති රජයන් යටතේ මේ සම්බන්ධයෙන් ප්‍රමාණවත් වැඩපිළිවෙළක් සකස් කර නැති බවට පෙත්සම මගින් චෝදනා කර තිබුණා.
අදාල පෙත්සම කැඳවු අවස්ථාවේදී පෙත්සම්කාර පාර්ශවය වෙනුවෙන් පෙනී සිටි නීතිඥ රවීන්ද්‍රනාත් දාබරේ මහතා අධිකරණය වෙත කරුණු දක්වමින් සඳහන් කළේ රජය විසින් දේශගුණික විපර්යාස අවම කිරීම සඳහා කිසිදු ක්‍රියාමාර්ගයක් ගෙන නොමැති බවයි.
පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ , හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ , වර්තමාන ජනාධිපති අනුර කුමාර දිසානායක , පරිසර අමාත්‍යාංශ සහ ඇමතිවරයා, ලේකම්වරයා සහ නීතිපතිවරයා , පොලිස්පතිවරයා , ඇතුළු පාර්ශ්ව නවයක් නම් කර තිබෙනවා.
මුහුදු ඛාදනය සහ වන විනාශ සම්බන්ධයෙන් පෙත්සම්කරුවන් දිර්ඝව කරුණු දැක්වු අතර එකී කරුණු සලකා බැලු විනිසුරු මඩුල්ල නියෝග කළේ පෙත්සම ඉදිරියට පවත්වාගෙන යාමට අවසර දෙන බවටයි.
ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ජනක් ද සිල්වා , සෝභිත රාජකරුණා, සම්පත් විජේරත්න යන මහත්වරුන් ඉදිරියේ මෙම පෙත්සම කැඳවනු ලැබුවා.
නීතිපතිවරයා වෙනුවෙන් රජයේ අධිනීතිඥ සුරේකා අහමඩ් මහත්මිය පෙනී සිටියා.
නඩුව අවසන් විවාදය සඳහා නැවත ලබන වසරේ මාර්තු 13 කැඳවීමට විනිසුරු මඩුල්ල නියෝග කළා.