හරි හැටි දෙයක් නොදැන මෙහෙම කරන්ට එපා

හරි හැටි දෙයක් නොදැන මෙහෙම කරන්ට එපා

කොළඹ සිට වැලිමඩ දක්වා ධාවනය වූ බසයක ගමන් කිරීමේදී නින්ද ගොස් මහ රාත්‍රියේ වැරදි ප්‍රදේශයක බැස්ස අයකුට සොරෙකු යැයි සිතා ගම්වාසීන් පහරදී එය වීඩියෝ කර සමාජ මාධ්‍යයේ දැමීම නිසා ලැජ්ජාවට පත් එම අවිවාහක තරුණයා ගෙල වැළලා ගෙන දිවිනසා ගෙන ඇතැයි පුස්සැල්ලාව පොලිසිය පවසනවා.

මිනිසුන්ගේ වැරදි ක්‍රියාවක් නිසා මෙසේ තම ජීවිතයට සමුදී ඇත්තේ මහනුවර, පුස්සැල්ලාව, රොච්චයිල්වත්ත වයි. ආර්. සී. කොටසේ පදිංචිව සිටි රාමචන්ද්‍රන් පුවනේස්වරන් (මුරලි) නමැති තිස් හතර හැවිරිදි අවිවාහකයෙක්.

මොහුගේ මව හා පියා මියගොස් ඇති අතර එකම සහෝදරිය විවාහ වී පිට ප්‍රදේශයක පදිංචියට ‍යාමත් සමඟ මොහු ද රැකියාවක් සොයා කොළඹ ප්‍රදේශයට ගොස් ඇති බව වාර්තා වනවා.

තනිව ජීවත්වන මොහු නිවාඩුවක් ලද විගස රොච්චයිල්වත්ත නිවසට පැමිණ ඇත්තේ සිය නෑයන් හා යහළුවන් හමුවීමටයි.

මේ ආකාරයට පසුගිය 6 වැනිදා රාත්‍රියේ කොළඹ සිට පැමිණ ඇති මොහුට බසයේ නින්ද ගොස් ඇති අතර බසයෙන් බැසීමට තිබූ රොච්චයිල්වත්ත පසුකොට බොහෝ දුරක් ගොස් නුවරඑළිය මාර්ගයේ රම්බොඩ ප්‍රදේශයේදී අවදි වී බසයෙන් බැස තිබෙනවා.

ඒ වන විට රාත්‍රී දෙක පමණ වී තිබීමත් යළි නිවසට යෑමට බසයක් නොමැති වීමත් නිසා රම්බෝඩ ප්‍රදේශයේ ආර්. සී. කොටසේ සිටින තම මවගේ නැගණියක් (පුංචි අම්මාගේ) නිවස මතක් වී එහි යෑමට පිටත්ව ඇත්තේ ඒ අනුවයි.

වසර ගණනාවකින් එම නිවසට ගොස් නොමැති මොහුට රාත්‍රියේ මාර්ගය අමතකවීම නිසා එම ඉසව්ව සොයාගැනීම සඳහා හමුවූ නිවසක දොරට තට්ටු කර තිබෙනවා.

නමුත් එම නිවැසියන් ‘මෙන්න හොරෙක් ගෙට ආවා’ කියමින් කෑගැසීම නිසා අවට පදිංචිකරුවන් පැමිණ මෙම තරුණයා අල්ලා බැඳ පහර දී තිබෙනවා.

තමාට සිදුවූ අකරතැබ්බය කියා සිය පුංචි අම්මා හා බාප්පා ගැන කියූ පසු මෙම පිරිස ඔවුන් ද මෙම ස්ථානයට කැඳවා තිබෙනවා.

එම බාප්පා හා ඔහුගේ පුතුන් දෙදෙනා එම ස්ථානයට පැමිණිය ද අල්ලාගෙන සිටින පුද්ගලයා හඳුනන්නේ නැතැයි පැවසීම නිසා මේ පිරිස මොහුට තවත් පහර දී කොත්මලේ පොලිසියට භාරදීමටයි කටයුතු කර ඇත්තේ.

කොත්මලේ පොලිසිය ඔහුගේ අනන්‍යතාව හෙළි කරගෙන ඔහු පැවසූ බාප්පා හා පුංචි අම්මා ඥාතීන් බව ද හඳුනාගෙන පසුව රොච්චයිල් ප්‍රදේශයේ ඥාතීන් හා යහළුවන් කැඳවා මොහු පිළිබඳව වෛද්‍ය පරීක්ෂණයක් ද කොට සොරකමක් අනාවරණය නොවූයෙන් පොලිස් ඇප දී ඥාතීන්ට භාරදී තිබෙනවා.

ඒ අනුව මොහුගේ මිතුරන් ත්‍රිරෝද රථයකින් මොහු යළි ගමට ගෙනයන අතරතුර මොහු දැඩි කලකිරීමට පත්ව සිටි බව සදහන්.

පසුව මෙම තරුණයා ඔහුගේ නිවස තුළ ගෙල වැළලා ගෙන දිවි නසා ගෙන සිටිය දී හමුවී ඇත්තේ මේ තරුණයාට වූ විපත සමාජ මාධ්‍ය තුල දමා ඔහු සොරකු ලෙස ප්‍රචාරය වීමෙන් පසුව බව ඔහුගේ ඥාතීන් චෝදනා කරනවා.

 

Share This