නව ත්‍රස්ත විරෝධි පනතේ අවසන් කෙටුම්පත ලබන සතියේ අධිකරණ ඇමති අතට

නව ත්‍රස්ත විරෝධි පනතේ අවසන් කෙටුම්පත ලබන සතියේ අධිකරණ ඇමති අතට

නව ත්‍රස්ත විරෝධි පනත කෙටුම්පත් කිරීම සම්බන්ධයෙන් පත් කළ විද්වත් කමිටුවේ අවසන් කෙටුම්පත ලබන සතිය තුළ අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍ය, නීතිඥ, හර්ෂණ නානායක්කාර මහතාට භාරදීමට කටයුතු කරන බව එම කමිටුවේ සභාපති, ජනාධිපති නීතීඥ, රියෙන්සි අර්සකුලරත්න මහතා පවසනවා.

නව ත්‍රස්ත විරෝධි පනත් කෙටුම්පත් කිරීම සම්බන්ධයෙන් අමාත්‍ය මණ්ඩලය විසින් පත් කළ කමිටුව ඊයේ (09) පස්වරුවේ රැස්වුණේ අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍යාංශයේදී‍යි.

එහිදී අදහස් පළ කරමින් කමිටුවේ සභාපතිවරයා පැවසුවේ නව කෙටුම්පතෙහි තවදුරටත් පවතින ගැටළුකාරී තැන් හඳුනා ගනිමින් පනත් කෙටුම්පත දෙවන වරටත් අධ්‍යයනය කිරීමේ කටයුතු මෙම සතිය තුළ අවසන් කිරීමට නියමිත බවයි.

මෙම සතිය තුළ කමිටුව දෛනිකව රැස්වී අදාළ කටයුතු අවසන් කරන බව සභාපතිවරයා පැවසුවා.

පනත් කෙටුම්පත සම්බන්ධයෙන් කමිටුව ඉදිරි දින කිහිපය තුළ දෛනිකව සාකච්ඡා කරන අතර එහිදී එදිනෙදා සාකච්ඡා කර ඇතිකර ගන්නා වෙනස්කම් ඇතුළත් කරමින් පනත කෙටුම්පත් කිරීමේ කටයුතු නීති කෙටුම්පත් දෙපාර්තමේන්තුව විසින් සිදු කර ගෙන යන බවද කමිටුවේ සභාපතිවරයා සදහන් කළා.

මෙම සාකච්ඡාවට නීතිපති දෙපාර්තමේන්තුවේ අතිරේක සොලිසිටර් ජනරාල්, ජනාධිපති නීතිඥ, නෙරින් පුල්ලේ, අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍යාංශයේ අතිරේක ලේකම් (නීති) පියුමන්ති පීරිස්, ජනාධිපති නීතිඥ සාලිය පීරිස් යන මහත්ම මහත්මීන්, ඇතුළු අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍යාංශයේ උසස් නිලධාරීන් පිරිසක් එක්ව සිටියා.

Share This