සම්පත් මනම්පේරි ගේ මෝටර් රථය සොයා ගනී (VIDEO)

සම්පත් මනම්පේරි ගේ මෝටර් රථය සොයා ගනී (VIDEO)

අයිස් නිෂ්පාදනය සඳහා යොදා ගන්නා බවට සැකකෙරෙන රසායන ද්‍රව්‍ය සොයාගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් පොලිසියට අවශ්‍යව සිටින ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ප්‍රාදේශීය සභා අපේක්ෂක සම්පත් මනම්පේරි නැමැත්තාට අයත් සුඛෝපභෝගී මෝටර් රථයක් පොලිස් භාරයට ගෙන තිබෙනවා.

අප වාර්තාකරු සඳහන් කළේ ඇඹිලිපිටිය නවනගරයේ ගරාජයක තිබී එම රථය සොයාගෙන ඇති බවයි.

මිද්දෙණිය, තලාව, කන්තෝරුවත්ත ප්‍රදේශයේ ඉඩමක තිබී අයිස් නිෂ්පාදනය සඳහා යොදා ගන්නා බව කියන රසායනික ද්‍රව්‍ය සොයා ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් පොලිසියට අවශ්‍යව සිටින ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් පසුගිය පළාත් පාලන මැතිවරණයට තරග කළ සම්පත් මනම්පේරි නමැත්තාට අයත් මෝටර් රථයක් ඇඹිලිපිටිය ප්‍රදේශයේ ගරාජයක තිබී සොයාගෙන තිබෙනවා.

අප වාර්තාකරු සඳහන් කළේ ඇඹිලිපිටිය පොලිසිය මගින් අද පෙරවරුවේ එම රථය පොලිස් භාරයට ගෙන ඇති බවයි.

අදාළ සැකකරු පොලිසිය මගහරිමින් සිටින අවස්ථාවේ කිසියම් පුද්ගලයෙකු ඉකුත් 07 වැනිදා එම රථය අලුත්වැඩියා කරන ලෙස බාරදුන් බවයි ගරාජ් හිමියා පොලිසියට පවසා ඇත්තේ.

ඒ අනුව රථය ගරාජයට භාරදුන් පුද්ගලයා ද අත්අඩංගුවට ගැනීමට විමර්ශන සිදුකරන අතර සැඟව සිටින සම්පත් මනම්පේරි නැමැත්තා ද සොයා විමර්ශන ක්‍රියාත්මකයි.

මේ අතර අදාළ රසායනික ද්‍රව්‍ය වල දමා තිබූ ඉඩමෙහි පාලු නිවසක තිබී පොලිස් නිල ලාංඡනය සහිත ඇඳුම් ගිනිඅවි ඇතුළු ආරක්‍ෂක අංශ සාමාජිකයින් භාවිත කරනා උපකරණ රැසක් සොයා ගැනීමට පොලිසිය ඊයේ කටයුතු කළා.

සිද්ධිය සම්බන්ධයෙන් සම්පත් මනම්පේරි නැමැත්තාගේ 82 හැවිරිදි පියා අත්අඩංගුවට ගත් අතර ඔහු ඇප මත මුදාහැර තිබෙනවා.

මිද්දෙණියෙන් සොයා ගත් අදාළ රසායනික ද්‍රව්‍යවලට සමාන ද්‍රව්‍ය කඳාන සහ තංගල්ල නෙටොල්පිටිය යන ප්‍රදේශයන්හිදී සොයාගත් අතර ඒවා තවත් ස්ථානවල සඟවා ඇත්ද යන්න පිළිබඳ විමර්ශන ක්‍රියාත්මකයි.

Share This