තැනි තැනට අයිස් හදන රසායන කන්ටේනර් ගිය හැටි (VIDEO)

තැනි තැනට අයිස් හදන රසායන කන්ටේනර් ගිය හැටි (VIDEO)

මිද්දෙණියෙන් සහ කඳාන යන ප්‍රදේශවලින් හමු වූ අයිස් මත්ද්‍රව්‍ය නිෂ්පාදනයට යොදා ගන්නා බවට සැකකෙරෙන රසායන ද්‍රව්‍ය අඩංගු කන්ටේනර් එම ප්‍රදේශවලට ගෙන යාමට පෙර නුවරඑළිය ආදී දිවයිනේ ප්‍රදේශය කිහිපයකටම ගෙන ගොස් ඇති බව විමර්ශනවලදී හෙළිව තිබෙනවා.

නුවරඑළිය, හම්බන්තොට සහ ගොඩගම යන ප්‍රදේශවලට ගෙන ගිය එම එක් කන්ටේනරයක් ගබඩා කිරීමේ ගැටලුවක් හේතුවෙන් පසුව කඳානට ගෙන ගොස් ඇති බවයි පැවසෙන්නේ.

එම ජාවාරමට අදාළ තවත් තොරතුරු රැසක් සහකාර පොලිස් අධිකාරි රොහාන් ඕලුගල මහතා ප්‍රමුඛ බස්නාහිර පළාත් උතුර අපාරධ විමර්ශන අංශය විසින් අනාවරණ කරගෙන තිබෙනවා.

සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජික කෙහෙල්බද්දර පද්මේට අයත් අයිස් මත්ද්‍රව්‍ය නිෂ්පාදනාගාරයට නිෂ්පාදන කටයුතු සඳහා ගෙන්වනු ලැබූ බව කියන රසායන ද්‍රව්‍ය කිලෝ ග්‍රෑම් 50,000කට අධික තොගයක් පසුගියදා මිද්දෙණිය ප්‍රදේශයෙන් සොයා ගැණුනා.

අනතුරුව කළ තවත් මෙහෙයුම් දෙකකදී නෙටොල්පිටියෙන් සහ කඳානෙන් ද එවැනිම රසායන ද්‍රව්‍ය විශාල තොග හමුවුණා.

මේ සිද්ධීන් සම්බන්ධයෙන් පියල් මනම්පේරි නැමැති පුද්ගලයෙකු අත්අඩංගුවට ගත් අතර ඔහුගේ සහෝදරයෙකු වන ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ප්‍රාදේශීය සභා අපේක්ෂක සම්පත් මනම්පේරි මේ වන විට ප්‍රදේශය අතහැර පලා ගොස් තිබෙනවා.

ඔහු භාවිත කළ බව කියන මෝටර් රථයක් අද ඇඹිලිපිටිය ප්‍රදේශයේ තිබී පොලිස් භාරයට ගනු ලැබුවා.

මේ අතර ඔහු වෙත එවා තිබූ බව කියන අයිස් නිෂ්පාදනයට යොදා ගන්නා රසායන ද්‍රව්‍ය තොගය මිරිජ්ජවිල ඉඩමට ගොඩබාන අන්දම දැක්වෙන විඩියෝවක් අපවෙත ලැබී තිබෙනවා.

සම්පත් මනම්පේරිද එම ස්ථානයේ සිටින ආකාරය අදාල වීඩියෝවේ දැක්වෙනවා.

මේ අතර නුවරඑළියට රැගෙනගිය රසායන ද්‍රව්‍ය අඩංගු බහාලුම මඩේ එරී තිබූ අතර එය පිටතට ගැනීමට ඔවුන්ට දැඩි වෙහෙසක් දැරීමට සිදුව තිබුණා.

මෙම බාධා හේතුවෙන් ඒවා නුවරඑළියට ගොඩ බෑමට නොහැකි වී ආපසු හම්බන්තොට වෙත රැගෙනවිත් තිබුණා.

එම ස්ථානයේදී ද බාධාවන් මතුවීම හේතුවෙන් අදාළ රසායන ද්‍රව්‍ය තොගය ගොඩගම ප්‍රදේශයේ නිවසක් වෙත රැගෙන යාමටයි ඔවුන් පියවර ගෙන ඇත්තේ.

එහි ගබඩා කිරීමේ උත්සහයත් ව්‍යර්ථ වීමෙන් අනතුරුවයි එම රසායන ද්‍රව්‍ය තොගය කඳාන ප්‍රදේශයේ නිවසකට රැගෙන විත් තිබුණේ.

 

Share This