පෑලියගොඩ මත්ස්‍ය වෙළඳ සංකීර්ණයේ ගැටලු විසඳීමට නියෝජ්‍ය අමාත්‍ය රත්න ගමගේ මැදිහත් වෙයි

පෑලියගොඩ මත්ස්‍ය වෙළඳ සංකීර්ණයේ ගැටලු විසඳීමට නියෝජ්‍ය අමාත්‍ය රත්න ගමගේ මැදිහත් වෙයි

මෙරට මසුන් බෙදාහැරීමේ ප්‍රධාන මධ්‍යස්ථානය වන පෑලියගොඩ මධ්‍යම මත්ස්‍ය වෙළඳ සංකීර්ණයේ තොග සහ සිල්ලර වෙළෙඳුන් මුහුණ දෙන දීර්ඝකාලීන ගැටලු පිළිබඳව සොයා බැලීම සඳහා ධීවර, ජලජ හා සාගර සම්පත් නියෝජ්‍ය අමාත්‍ය, රත්න ගමගේ මහතා ඊයේ (12) එම සංකීර්ණයේ නිරීක්ෂණ චාරිකාවක නිරත වූ අතර, එහිදී වෙළෙඳ ප්‍රජාව සමඟ විශේෂ සාකච්ඡාවක ද නිරත් වුණා.

ඉදිරියේදී පැවැත්වෙන අයවැය සඳහා ධීවර ක්ෂේත්‍රයෙන් යෝජනා ලබාගැනීමේ වැඩසටහනේ කොටසක් ලෙස පැවති මෙම හමුවේදී, නියෝජ්‍ය අමාත්‍යවරයා තොග සහ සිල්ලර වෙළෙඳ සංගම් නියෝජිතයින් සමඟ පවතින ගැටලු සාකච්ඡා කළා.

එහිදී වෙළෙඳ ප්‍රජාව විසින් ප්‍රධාන ගැටලු කිහිපයක් පිළිබදව නියෝජ්‍ය අමාත්‍යවරයාට ඉදිරිපත් කර තිබෙනවා.

වෙළඳ සංකීර්ණය වෙත ළඟා වන මත්ස්‍ය ලොරි, ලියාපදිංචි තොග වෙළෙඳසැල් මඟහැර, වෙළඳ සංකීර්ණ භූමිය තුළදීම පිටත ගැනුම්කරුවන්ට සෘජුවම අලෙවි කිරීම හේතුවෙන් ලියාපදිංචි ව්‍යාපාරිකයින් දැඩි අසීරුතාවකට පත්වන බවත්, වෙළඳපොළේ විධිමත් ක්‍රමවේදය බිඳ වැටෙන බවත් තොග වෙළෙඳුන් නියෝජ්‍ය අමාත්‍යවරයාට පෙන්වා දුන්නා.

වෙළඳ සංකීර්ණයේ සේවයේ නියුතු වෙළෙඳුන්, සේවකයින් සහ නීත්‍යානුකූල සේවා සපයන්නන් සඳහා විධිමත් හැඳුනුම්පතක් නිකුත් කර නොමැති වීම, අනවසර පුද්ගලයින්ගේ පැමිණීම, සොරකම් සහ වෙනත් අක්‍රමිකතා ඉහළ යෑමට හේතු වී ඇති බවට ද වෙළෙදුන් චෝදනා එල්ල කළා.

වෙළඳ සංකීර්ණය තුළ මූල්‍ය වංචා (අගරු චෙක්පත් ලබා දීම වැනි) සහ වෙළෙඳ ආරවුල් විසඳා ගැනීමේදී දැඩි දුෂ්කරතාවලට මුහුණ දීමට සිදුවන බව වෙළෙඳුන් පෙන්වා දුන්නා.

මෙම ගැටලු නිරාකරණය කිරීම සඳහා කඩිනම් පියවර ගන්නා බවට වෙළෙඳ ප්‍රජාවට නියෝජ්‍ය අමාත්‍ය රත්න ගමගේ මහතා එහිදී සහතික වුණා.

 

Share This