ස්වර්ගස්ථ වූ ගරු බෙනඩික්ට් ජෝසප් පියතුමන්ගේ අවසන් කටයුතු අද (VIDEO)

ස්වර්ගස්ථ වූ ගරු බෙනඩික්ට් ජෝසප් පියතුමන්ගේ අවසන් කටයුතු අද (VIDEO)

ස්වර්ගස්ථ වූ ශ්‍රී ලංකා කතෝලික සභාවේ හිටපු ජනසන්නිවේදන අධ්‍යක්ෂ, ගරු බෙනඩික්ට් ජෝසප් පියතුමන්ගේ දේහය මේ වනවිට කොළඹ අගරදගුරු මැදුරේ ශ්‍රී හෘදයේ දෙව්මැදුරේ මහජන ගෞරවය සඳහා තැන්පත් කර තිබෙනවා.

උන්වහන්සේගේ දේහය පිළිබඳ අවසන් කටයුතු අද(13) පස්වරුවේ බොරැල්ල පොදු සුසාන භූමියේදී සිදුකිරීමට නියමිතයි.

ශ්‍රී ලංකා කතෝලික සභාවේ උන්නතිය සඳහා කැපවුණු ගරු බෙනඩික් ජෝසප් පියතුමන් ඊයේ පෙරවරුවේදී ස්වර්ගස්ථ වුණා.

උන්වහන්සේගේ දේහය මහජන ගෞරවය සඳහා මේ වනවිට කොළඹ අගරදගුරු මැදුරේ ශ්‍රී හෘදයේ දෙව්මැදුරේ මහජන ගෞරවය සඳහා තැන්පත් කර තිබෙනවා.

සිනමාවට, ගීත ක්ෂේත්‍රයට සහ ජන සන්නිවේදනයටත්, ග්‍රන්ථකරණයටත් වඩාත් නැඹුරු කිතුනු පියතුමන්ලා පිළිබඳව මතකය අවදි කිරීමේදී මෑත කාලීනව මාධ්‍ය ක්ෂේත්‍රයට සම්බන්ධ අමතක කළ නොහැකි පියතුමෙකුවේ නම් ඒ ශ්‍රී ලංකා කතෝලික සභාවේ හිටපු ජනසන්නිවේදන අධ්‍යක්ෂ, ගරු බෙනඩික්ට් ජෝසප් පියතුමායි.

අගරදගුරු අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්ගේ මාධ්‍ය ප්‍රකාශක ලෙස සුවිශේෂී මාධ්‍ය මෙහෙවරක් ඉටු කළ මෙතුමන් එවක සමාජයේ කාගේත් හොඳ හිත දිනා ගනිමින් කටයුතු කළා.

එතුමන් ශ්‍රී ලංකා කතෝලික ජනසන්නිවේදන කොමිසමේ ලේකම් පදවිය,සිංහල ශබ්ද කෝෂයේ උපදේශක තනතුර, ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ කතෝලික මණ්ඩලයේ උපදේශක සාමාජික, ශ්‍රී ලංකා සංස්කෘතික කලා මණ්ඩලයේ සාමාජිකත්වය, සංස්කෘතික කටයුතු අමාත්‍යාංශයේ ටෙලිනාට්‍ය කථා මණ්ඩලය ඇතුළු දේශීය, විදේශීය නිලතල රැසක් දරා තිබුණේ මෙරට සමාජයේ ප්‍රගමණයට දැඩි රුකුලක් වෙමින්.

බෙනඩික්ට් ජෝසප් පියතුමා කතෝලික ජන සන්නිවේදනය මෙන්ම කතෝලික ජන වන්දනාව ඇතුළු විෂයාන්තර ග්‍රන්ථ කීපයක කතුවරයා ද වනවා.

එමෙන්ම නිරන්තරයෙන් දුගී දුප්පත් ජනතාව සමග සිටිමින් , විශාල සේවාවක් කල පියතුමන් සැමදෙනාටම උපකාර කරමින් මෙරට සමාජයට මෙන්ම ශ්‍රී ලංකාවේ කතෝලික සභාවේ සමාජ සන්නිවේදන හා මාධ්‍ය ක්ෂේත්‍රයට විශාල සේවාවක් සිදුකරමින් දශක ගණනාවක්ම කැපව සිටියා.

කතෝලික සභාව සහ ජනමාධ්‍ය ක්ෂේත්‍රය අතර යහපත් බැඳියාව අගනා ලෙස පවත්වාගෙන ගිය පියතුමන්, තමන් අනුගමනය කළ දිවැසිවර කාර්යය තුළ අවසන් සමය රෝගාතුරව වුවද සමාජය තුළ පැසසුමට සහ ඇගයුමට ලක් වෙමින් සැදෑ සමය ගත කළා.

උන්වහන්සේ සිය සැදෑ කාලය කොළඹ හැව්ලොක් ප්‍රදේශයේ කතෝලික සභාවේ Evening Stars නමැති විශ්‍රාමික නිවහනේ ගතකළ අතර එහිදී තම දිවි ගමන ඊයේ නිම කළේ කතෝලික ප්‍රජාවට මෙන්ම මෙරට සුවහසක් වූ ජනතාවට සදාතනික මතක රැසක් ඉතිරි කරමින්.

මෙරට කතෝලික සභාව සහ ජනමාධ්‍ය ක්ෂේත්‍රය අතර යහපත් සබඳතාවක් පවත්වාගෙන ගිය ගරු බෙනඩික් ජෝසප් පියතුමන් ස්වර්ගස්ථ වන විට 83 වන වියේ පසුවුණා.

සන්සුන් හඬ, මෘදු වචන සහ අව්‍යාජ නිහතමානීකම නිසාවෙන්ම උන්වහන්සේ බොහෝ දෙනෙකුට අමතක නොවන පියනමක බවට පත්වුණා.

තම දේශනා තුළින් ආදරය, සමාව දීම, එකමුතුකම පිළිබඳ පණිවුඩය සමාජයට රැගෙන යමින් කටයුතු කළ පූජා ප්‍රසාදීන් වහන්ස ඔබවහන්සේට මොක්සුව ප්‍රාර්ථනා කරමු.

Share This