කොළඹ ඇති පහසුකම්වලට අභියෝග කළ කලවාන ජාතික පාසලේ ළමයි (VIDEO)

කොළඹ ඇති පහසුකම්වලට අභියෝග කළ කලවාන ජාතික පාසලේ ළමයි (VIDEO)

ප්‍රවෘත්ති මැදිරි ඉතිහාසයේ වෙනස්ම විදිහේ අද්දැකීමක් සමගින් අපේ රටේ දරු පිරිසකගේ වෙනස්ම කතාවක් ඔබට කියන්නට ලයිව් ඇට් ශ්‍රී ලංකා සමත් වුණා.

ඒ සඳහා ලයිව් ඇට් ශ්‍රී ලංකා ප්‍රවෘත්ති මැදිරිය සම්බන්ධ වුණේ කලවාන ජාතික පාසලේ ප්‍රවෘත්ති මැදිරිය සමඟයි.

සුන්දර පරිසර පද්ධතියකට උරුමකම් කියන සිංහරාජ රක්ෂිත මායිමේ ආසන්නයේ තමයි මේ කලවාන ජාතික පාසල පිහිටලා තිබෙන්නේ.

මෙහි ඇති විශේෂත්වය වන්නේ රත්නපුර දිස්ත්‍රික්කයේ කලවාන අධ්‍යාපන කොට්ඨාසයේ පවතින එකම ජාතික පාසල මෙය වීමයි.

ගැමි අසිරිය කැටිකොටගත් මේ අපූරු පාසලේ ඉගෙන ගන්නා දු දරුවන්ගේ දෙමාපියන් වැඩිදෙනෙක් ගොවිතැනින් සිය ජීවිකාව සරි කර ගන්නා පිරිසක්.

ඒ නිසාම මේ පාසල් දරුවන්ගේ ජීවිත කතාව නම් එතරම් සුන්දර නැහැ.

නමුත් ඒ සියලු බාධක අභියෝගයක් කර ගත් මේ පාසලේ මාධ්‍ය ඒකකයේ සිටින දූ දරුවන් අපේ රටේ නගරබද සුපිරි පාසල්වලටත් අභියෝගයක් වෙන්න සමත් වෙලා.

ඒ තමන්ගේ පාසලේ දෛනික සන්නිවේදන කටයුතු සඳහා රූපවාහිනි මැදිරියක් මෙන්ම පාලක මැදිරියක්ද නිර්මාණය කර ගනිමින්.

මේ සියලු දෑ ඔවුන් විසින්ම නිර්මාණය කරගෙන තිබීමත් සුවිශේෂී කරැණක්.

මාධ්‍ය ආයතනයක් සියැසින්වත් දැක නැති මේ කලවාන ජාතික පාසලේ සිටින මාධ්‍ය කවයේ දුවා දරුවන්ගේ මේ ක්‍රියාදාමය ඇත්තටම විස්මය දනවන්නක්.

සමාජ මාධ්‍ය අවකාශය හරහා සජීවී වැඩසටහන් පවා ඉදිරිපත් කරන්නටත් මේ දරුවන් කටයුතු කරනවා.

මොන තරම් අභියෝග මැද වුවත් මේ දරුවන්ගේ වික්‍රමාන්විතය ලොවට කියා පාන්නේ ඔවුන් සතු අප්‍රතිහත ධෛර්යයි.

දකින සිහින මියෙන්නට ඉඩ නොදී එය යථාර්ථයක් බවට පත්කර ගත් කලවාන ජාතික පාසලේ මේ දූදරුවන් කෙරෙහි අධ්‍යාපන බලධාරින්ගේ නිසි අවධානය යොමු විය යුතු බවයි අපගේ හැඟීම.

අපේ සමාජයේ තියෙන මතයක් තමයි ඕනම දෙයකට හොඳම දෙය ලබා ගන්න කොළඹ එන්න ඕන කියන එක.

හැබැයි කලවාන ජාතික පාසලේ මේ දරුවන් වෙනස් කළේ ඒ මතයයි.

Share This