පාසල් ළමුන් ඉලක්ක කර මත්පෙති අලෙවි කළ පුද්ගලයෙක් මැදිරිගිරියේ දී අත්අඩංගුවට

පාසල් ළමුන් ඉලක්ක කර මත්පෙති අලෙවි කළ පුද්ගලයෙක් මැදිරිගිරියේ දී අත්අඩංගුවට

මැදිරිගිරිය පොලිසියේ විශේෂ කාර්යාංශයට ලැබුණු තොරතුරක් මත මැදිරිගිරිය, දියසෙන්පුර, නිශ්ශංකල්ලපුර නිවසක් පරීක්ෂාවට ලක් කිරීමේදී වයස අවුරුදු විස්සක තරුණයකු සතුව තිබී මිලිග්‍රෑම් 150 පරා කැප් කැපිසියුල් කරල් 10 ක පැකට් අටක් සහ ගංජා මිලි ග්‍රෑම් 6670 ක් ඇතුළු මත්ද්‍රව්‍ය පොලීසිය භාරයට ගෙන තිබෙනවා.

මෙම සැකකරු සතුව තිබී පොලීසිය හොයාගත් මත්ද්‍රව්‍ය අතරට හෑෂ් මත්ද්‍රව්‍ය මිලිග්‍රෑම් 1900ක ප්‍රමාණයක් ද අයත්.

ඔහු සංචාරක හෝටලයක සේවය කරන පුද්ගලයකු බව පොලිස් පරීක්ෂණවලින් අනාවරණය වී තිබෙනවා.

මැදිරිගිරිය ප්‍රදේශයේ පාසල් ළමුන් ඉලක්ක කර මෙම කැප්සියුල් විකුණා ඇති බව පොලිසිය කළ ප්‍රශ්නකිරීම් වලදී පවසා තිබෙනවා.

පොලිසිය සඳහන් කළේ මෙම මත් කැප්සුල් පෙත්තක් රුපියල් 400 ත් 500 ත් අතර මිලකට විකුණා ඇති බවයි.

මෙම කැප්සියුල් අධික වේදනා නාශක ඖෂධයක් ලෙස රෝහල්වලින් රෝගීන්ට ලබාදෙන බවයි පොලිසිය වැඩිදුරටත් සඳහන් කළේ.

වෛද්‍යවරයෙකුගේ නිල නිර්දේශයක් නොමැතිව මෙම කැප්සියුල් ලබා ගැනීමට කිසිසේත්ම අවසරයක් නොමැති බව පොලීසිය පැවසුවා.

අත්අඩංගුවට ගත් සැකකරු සහ මත්ද්‍රව්‍ය සහ කැප්සියුල් තොගය අද හිඟුරක්ගොඩ මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

Share This