මියන්මාරයේ සයිබර් අපරාධ කඳවුරුවල ශ්‍රී ලාංකිකයින් 13 ක්

මියන්මාරයේ සයිබර් අපරාධ කඳවුරුවල ශ්‍රී ලාංකිකයින් 13 ක්

මියන්මාරයේ සයිබර් අපරාධ කඳවුරුවල තවදුරටත් ශ්‍රී ලාංකිකයින් 13 දෙනෙකු සිටින බවට තහවුරුවීමෙන් පසු ඔවුන් මුදාගැනීමේ කටයුතු සඳහා රටවල් කිහිපයක් සමඟ සාකච්ඡා ආරම්භ කර ඇති බව විදේශ කටයුතු අමාත්‍යාංශය පවසනවා.

විදේශ කටයුතු අමාත්‍යාංශයේ මාධ්‍ය ප්‍රකාශක තුෂාර රොද්‍රිගෝ මහතා ප්‍රකාශ කළේ සංචාරක වීසා මත පැමිණි ශ්‍රී ලාංකිකයින් පිරිසක් මෙලෙස මියන්මාරයේ සයිබර් අපරාධ කඳවුරුවල රැඳී සිටින බවට තොරතුරු ලැබී ඇති බවයි.

මියන්මාරයේ මියාවඩි ප්‍රදේශය ආසන්නයේ ඇති ත්‍රස්තවාදීන් විසින් පාලනය කරනු ලබන කඳවුරුවල මෙම සයිබර් අපරාධ සිදු වන බවට මීට පෙරද අප තොරතුරු වාර්තා කළා.

ශ්‍රී ලංකා රජය සහ මියන්මාර රජය අතර පැවති සාකච්ඡාවලින් පසු ඉන් පිරිසක් මුදා ගැනීමට හැකි වුණා.

කෙසේ වෙතත් මියන්මාර සයිබර් අපරාධ සිදුවන ස්ථානයක තවත් ශ්‍රී ලාංකිකයින් 13 දෙනෙකු රැඳී සිටින බවට තහවුරු වී ඇතැයි විදේශ කටයුතු අමාත්‍යාංශය තහවුරු කළා.

සංචාරක වීසා මත පැමිණි පිරිසක් මියන්මාරයේ මියාවඩි ප්‍රදේශයේදී රැකියා ලබාදෙන බවට පවසා එම කඳවුරුවලට රැගෙන ගොස් තිබෙනවා.

කෙසේ වෙතත් ඔවුන්ට වැටුපක් හෝ ලැබී නැති අතර ත්‍රස්තවාදීන්ගේ කඳවුරු තුළ ඔවුන්ට මාර්ගගත ක්‍රම ඔස්සේ බැංකු ගිණුම්වලට පිවිස මුදල් ලබා ගැනීම, සමාජ මාධ්‍ය ගිණුම් ග්‍රහණයට හසුකර ගැනීම ඇතුළු සයිබර් අපරාධ සිදු කරගෙන යාමටයි උපදෙස් ලබාදී ඇත්තේ.

විදේශ කටයුතු අමාත්‍යාංශය තවදුරටත් පවසන්නේ පරිගණක ක්‍ෂේත්‍රයේ රැකියා ලබා ගැනීමේ අරමුණින් පසුවන ඇතැම් ශ්‍රී ලාංකිකයින් සංචාරක වීසා මත විදෙස් ගතවන අතර ඔවුන් මෙවැනි ජාවාරම්කරුවන්ට හසුවන බවට නොයෙකුත් තොරතුරු වාර්තා බවටයි.

මේ හේතුවෙන් නිසි ක්‍රමවේදයකට අනුව රැකියා සඳහා විදෙස් ගත වන ලෙසට විදේශ කටයුතු අමාත්‍යාංශය ශ්‍රී ලාංකික පුරවැසියන්ගෙන් ඉල්ලා සිටිනවා.

Share This