පාසල් දරුවන් මිලියන 1.4ක පෝෂණය වෙනුවෙන් රජයෙන් රුපියල් බිලියන 32ක්

පාසල් දරුවන් මිලියන 1.4ක පෝෂණය වෙනුවෙන් රජයෙන් රුපියල් බිලියන 32ක්

පාසල් ළමුන් සඳහා ආහාර ලබාදීමේ රජයේ පෝෂණ වැඩසටහන දිවයිනේ සියලු පළාත්වල අධ්‍යාපන කලාප 100 ම ආවරණය වන පරිදි ක්‍රියාත්මක කෙරෙන අතර මේ වර්ෂය සඳහා මෙම වැඩසටහනට රුපියල් බිලියන 32 ක් අය-වැය ප්‍රතිපාදන මගින් වෙන් කර තිබෙනවා.

අධ්‍යාපන අමාත්‍යාංශයේ මාධ්‍ය ඒකකය පවසන්නේ පාසල් 8,943ක අධ්‍යාපනය ලබන මිලියන 1.4 ක ශිෂ්‍ය ප්‍රජාවකට මෙම පාසල් පෝෂණ වැඩසටහනේ ප්‍රතිලාභ මේ වන විට හිමි වන බවයි.

නිරෝගී ක්‍රියාශීලී දරු පරපුරක් දැයට දායාද කිරීමේ අභිමතාර්ථයෙන් පාසල් සිසුන්ගේ පෝෂණ ගැටලු අවම කිරීම, යහපත් ආහාර පුරුදු හා සෞඛ්‍ය පුරුදු ප්‍රවර්ධනය කිරීම මෙන් ම දේශීය ආහාර සංස්කෘතියක් ගොඩනැගීම මගින් රටට වැඩදායී පුද්ගලයකු බිහි කිරීම යන අරමුණු පෙරදැරිව අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශය විසින් පාසල් ළමුන් සඳහා නොමිලේ ආහාර ලබා දීමේ වැඩසටහන වාර්ෂික ව ක්‍රියාවට නංවනු ලබනවා.

2006 වර්ෂයේ සිට ජාතික වැඩසටහනක් ලෙස ක්‍රියාත්මක කෙරෙන මෙම පාසල් පෝෂණ වැඩසටහන සඳහා පාසල් තෝරාගැනීමේ දී සලකා බලන නිර්ණායක කිහිපයක් ඇති බවයි අධ්‍යාපන අමාත්‍යාංශය පවසන්නේ.

ඉන් පළමු නිර්ණායකයේ දී ශිෂ්‍ය සංඛ්‍යාව 100ට අඩු පාසල්වල සියලු ම ශිෂ්‍ය ශිෂ්‍යාවන් මෙම ආහාර ලබා දීමට සුදුසු සේ සැලකෙනවා.

එහෙත් ආරම්භයේ සිට අනුමත කර ඇති පාසලක් නම් වර්තමානයේ ශිෂ්‍ය සංඛ්‍යාව 100 ට වැඩි වුව ද එය නොසලකා සියලු සිසුන්ට ආහාර ලබා දීම සිදු කෙරෙනු ඇති.

දෙවෙනි නිර්ණායකයේ දී සියලු ම පාසල්වල 1 සිට 5 ‍දක්වා ප්‍රාථමික ශ්‍රේණිවල සියලු දරුවන්ට දිවා ආහාර වේල ලැබීමට සුදුසුස්සන් සේ සැලකෙනවා.

විශේෂ අධ්‍යාපන ඒකකවල හෝ විශේෂ අධ්‍යාපන පාසල්වල සියලුම ශිෂ්‍ය ශිෂ්‍යාවන් මෙම ආහාර වැඩසටහන මගින් ප්‍රතිලාභ ලැබීමට සුදුසු වන බව තෙවෙනි නිර්ණායකයෙන් කියවනවා.

අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනය කළේ සිව් වැනි නිර්ණායකය වන්නේ, තෝරාගත් පිරිවෙන්වල ගිහි සිසු සිසුවියන් මෙන්ම අවශ්‍යතාව මත පැවිදි ශිෂ්‍ය ප්‍රජාව ද මෙම වැඩසටහනට අයත් වන බවයි.

6 ශ්‍රේණියේ සිට 13 ශ්‍රේණිය දක්වා ශ්‍රේණිවල ශිෂ්‍ය ශිෂ්‍යාවන් ද පෝෂණ තත්ත්වය හා අවශ්‍යතාව මත මෙම ආහාර වැඩසටහනට ඇතුළත් කරගන්නා බව පස් වන නිර්ණායකයෙන් අදහස් කෙරෙනවා.

පාසල ආරම්භ වී පළමු පැය තුළ එනම් උදෑසන 7.30ත් – 8.30ත් අතර ආහාර ලබා දීම සිදු කරන අතර එක් සිසුවකුගේ දෛනික ආහාර වේලක් වෙනුවෙන් රු. 110/-ක මුදලක් වෙන් කර තිබෙනවා.

වත්මන් කාර්යබහුල සමාජ ජීවන රටාවට අනුව නිවසේ දී බොහෝ විට අතපසු වන දරුවන්ගේ උදෑසන කෑම වේල, පාසල තුළ දී ඔවුන්ට ප්‍රමාණවත් පරිදි හා පෝෂණීය අයුරින් ලබා දීම දිවයිනේ ප්‍රසිද්ධ පාසල් ඇතුළු සියලු ම පාසල්වලට භේදයකින් තොර ව ක්‍රියාවට නැංවීමට 14/2025 හා 2025 අප්‍රේල් 01 දිනැති ව නිකුත් කරන ලද නව චක්‍රලේඛය අනුව අධ්‍යාපන අමාත්‍යාංශය පියවර ගෙන තිබෙනවා.

Share This