මධ්‍යම අධිවේගයේ කඩවත සිට මීරිගම දක්වා වැඩ අරඹයි (VIDEO)

මධ්‍යම අධිවේගයේ කඩවත සිට මීරිගම දක්වා වැඩ අරඹයි (VIDEO)

මධ්‍යම අධිවේගී මාර්ග ව්‍යාපෘතියේ ආරම්භක කොටසේ වැඩ ආරම්භ කිරීම සහ කඩවත සිට මීරිගම දක්වා කොටසේ වැඩ නැවත ආරම්භ කිරීම ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් අද කඩවත අන්තර් හුවමාරු පරිශ්‍රයේදී ඇරඹුණා.

මෙහි වැඩකටයුතු 2028 වසර වන විට සම්පුර්ණයෙන් අවසන් කර ජනතා අයිතියට පත් කිරීමට නියමිතව තිබෙනවා.

මෙරට අධිවේගී මාර්ග පද්ධතියේ වැදගත් පියවරක් ලෙස මධ්‍යම අධිවේගී මාර්ගයේ ඉදිකිරීම් කටයුතු ආරම්භ කෙරුණේ 2016 වසරේදී.

චීන එක්සීම් බැංකුව විසින් අනුමත ඩොලර් මිලියන 989ක ණය ගිවිසුමක් යටතේ ඉදිකිරීම් ආරම්භ කළ කිලෝමීටර් 168.7ක දුරකින් යුත් මධ්‍යම අධිවේගී මාර්ගයේ ඉදිකිරීම් අදියර 4කින් සමන්විතයි.

එහි පළමු අදියර කඩවත සිට මීරිගම දක්වා කිලෝමීටර 37ක දිගකින් සමන්විත වන අතර දෙවන අදියර මීරිගම සිට කුරුණෑගල දක්වා කිලෝමීටර 39.7කින් සහ මීරිගම සිට අඹේපුස්ස දක්වා කිලෝමීටර 9.1කින් සමන්විත වනවා.

එමෙන්ම එහි තෙවන අදියර පොතුහැර සිට ගලගෙදර දක්වා කිලෝමීටර 32.5කින් සහ සිව්වන අදියර කුරුණෑගල සිට දඹුල්ල දක්වා කිලෝමීටර 60.3කින් යුක්තයි.

දෙවැනි අදියර වන මීරිගම සිට කුරුණෑගල දක්වා මාර්ගය මේ වන විට විවෘත කර ඇතත් පළමු අදියර වන කඩවත සිට මීරිගම දක්වා කොටසේ වැඩකටයුතු විවිධ හේතුන් මත අතරමඟදී ප්‍රමාද වුණා.

ඊට ප්‍රධාන ලෙසම බලපෑවේ 2022 වසරේ හටගත් ආර්ථික අර්බුදයයි.

කෙසේ වෙතත් මධ්‍යම අධිවේගී මාර්ගයේ පළමු අදියර වන කඩවත මීරිගම කොටසේ ඉදිකිරීම් නැවත ආරම්භ කිරීමට චීන එක්සීම් බැංකුව අමෙරිකානු ඩොලර් මිලියන 500කට සමාන යුවාන් ණය මුදලක් අනුමත කර තිබෙනවා.

එමෙන්ම මෙම ව්‍යාපෘතිය සඳහා වත්මන් රජය වෙන්කර ඇති මුදල රුපියල් බිලියන 6.8ක මුදලක්.

Share This