
ආණ්ඩුවේ පළමු වසර තුළ ඩොලර් බිලියනයක සෘජු ආයෝජන ලැබී ඇතැයි ජනපති පවසයි. මත්ද්‍රව්‍ය ජාවාරමේ දේශපලන සම්භන්ධය ගැනත් කියයි
පසුගිය ආර්ථික අර්බුදය හමුවේ අතරමඟ වැඩ නැවතුණු කඩවත – මීරිගම අධිවේගී මාර්ග කොටසේ ඉදිකිරීම් නැවත ආරම්භ කිරීම අද(17) සිදු කෙරුණා.
කඩවත හුවමාරු මධ්‍යස්ථානය සහ අධිවේගී මාර්ගයේ පළමු මීටර් 500ක කොටසෙහි ඉදිකිරීම්ද අලුතින් ආරම්භ කෙරුණා.
මෙම මීටර් 500 ක මාර්ග කොටස මගින් මධ්‍යම අධිවේගී මාර්ගය, අධිවේගී මාර්ග ජාලයට සම්බන්ධ කෙරෙනු ඇති.
මෙම කොටසේ ඉදිකිරීම් සඳහා වෙන් කර ඇති මුදල රුපියල් බිලියන 8.692ක් වන අතර, සම්පුර්ණයෙන් දේශීය අරමුදල් මේ සඳහා යොදා ගැනෙනවා.
මධ්‍යම අධිවේගී මාර්ගයේ කඩවත සිට මීරිගම අතර කොටසේ දුර කිලෝමීටර් 37ක් වන අතර, ඒ සඳහා සම්පුර්ණයෙන් වැය කෙරෙන මුදල රුපියල් බිලියන 229.532 ක්.
ඒ සඳහා දේශීය අරමුදල් මෙන්ම චීන රජයේ සහන ණය මුදලක්ද යොදා දී තිබෙනවා.
2028 වසරේ මැද භාගය වන විට මෙම ව්‍යාපෘතිය සම්පූර්ණයෙන් අවසන් කිරීමට නියමිතයි.
මෙම කඩවත සිට මීරිගම දක්වා වූ කොටසේ ඉදිකිරීම් ආරම්භ කිරීමේ අවස්ථාවට ආරම්භ කිරීමට එක් වූ ජනාධිපතිවරයා සඳහන් කළේ රටක ආර්ථික සංවර්ධනය යටිතල පහසුකම් සංවර්ධනයට පමණක් සීමා කළ නොහැකි බවයි.
මෙරට ආර්ථික සහ සමාජ ස්ථාවරත්වය නිර්මාණය කිරීම වෙනුවෙන් රජය බහුවිධ මානයන් ඔස්සේ කටයුතු කරමින් සිටින බව ජනාධිපතිවරයා පැවසුවා.
නීතියේ ආධිපත්‍ය තහවුරු කරමින් සියලු දෙනා නීතිය යටතට ගෙන ඒම, සන්නද්ධ අපරාධ සහ මත්ද්‍රව්‍ය ජාවාරම් මැඬ පැවැත්වීම, දේශපාලන අධිකාරිය පුරා පැතිරී තිබෙන අල්ලස සහ දූෂණය නැති කිරීම මෙන්ම, නූතන රාජ්‍ය සේවයක් ගොඩනැඟීම වෙනුවෙන් අවශ්‍ය වැටුප් වැඩිකිරීම සහ පහසුකම් ලබාදීම ඇතුළු සෑම ක්ෂේත්රයකම සුවිශේෂී වර්ධනයන් අත්පත් කරගෙන තිබෙන බවද ජනාධිපතිවරයා එහිදී සඳහන් කළා.
මෙම උත්සව සභාව ඇමතූ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වැඩිදුරටත් මෙසේද පැවසුවා.
” රටේ ආර්ථිකයට යළි පණ පොවන්නේ කෙසේද කියා අපි හොඳින් සාකච්ඡා කළ යුතුයි. ආර්ථිකයට පණ පෙවීම ගැන සාකච්ඡා කරන විට මේ අර්බුදය නිර්මාණය වූයේ කෙසේද යන්න පිළිබඳව අපි අවධානය යොමු කළ යුතුයි. 2022 – 2023 ආර්ථික අර්බුදය විසින් ඇති කරන ලද සමාජ ඛේදවාචකය ඕපපාතිකව නිර්මාණය වූවක් නොවෙයි. ඒ සමඟ බැඳුණු විශාල සාධක සහ කරුණු ගණනාවක් තිබෙනවා. අපේ පරම්පරාව එම ආර්ථික බිඳ වැටීම අත්දුටුවා. පෝලිම්වල ජනතාව මිය යාම, සමාජ දේහයේ කඩාවැටීම් අපි අත්දැක තිබෙනවා. ඒ සමාජ ඛේදවාචකයේ උරුමකරුවන් බවට පත්ව තිබෙනවා. යළි කෙදිනකවත් ශ්‍රී ලංකාවේ එවැනි අර්බුදයක් ඇති නොවන පරිදි මේ රට ගොඩනැඟීමට අපි සූදානම් කියන සහතිකය මම ජනතාවට ලබා දෙනවා.
ඒ සඳහා යටිතල පහසුකම් සංවර්ධනය පමණක් ප්‍රමාණවත් නැහැ. ආර්ථික සංවර්ධනය යටිතල පහසුකම් සංවර්ධනයට පමණක් කේන්ද්‍ර කර ගැනීමට පසුගිය කාලයේ උත්සාහ කළා. ආර්ථිකයක් සහ සමාජයක් ස්ථාවරත්වයට පත් කිරිම සඳහා යටිතල පහසුකම් එක් අංගයක් පමණයි. හැබැයි, එම අංගය පමණක් තිබෙනවා නම් එය අබ්බගාත ස්වභාවයක්. ඒ නිසා අපේ රටේ තිබුණේ අබ්බගාත සංවර්ධන උපායමාර්ගයක්.
ඉදිකිරීම්වලින් පමණක් රටක ආර්ථික සහ සමාජ ස්ථාවරත්වය නිර්මාණය වන්නේ නැහැ. ඒ වෙනුවෙන් තවත් පැති ගණනාවකින් කරුණු සම්පූර්ණ විය යුතුයි. ඒ නිසා අපේ රජය මේ ආර්ථික ස්ථාවරත්වය නිර්මාණය කරන්නේ බහුවිධ පැතිමාන ගණනාවකින්. යටිතල පහසුකම් එහි එක් කොටසක්. ඒ හා සමාන වැදගත් වැඩ කොටස් ගණනාවක් තිබෙනවා.
එහිදී නීතියේ විධානයේ ආධිපත්‍ය තහවුරු විය යුතුයි. අපි නීතිය ඉදිරියේ සියලුදෙනා සමානයි කියන සංකල්පයට පණ පොවනවා. ස්ථාවර රාජ්‍යයක් නිර්මාණය කිරීමට නම් නීතියේ ආධිපත්‍යයට සියලුදෙනා යටත්විය යුතුයි. දේශපාලන සංස්කෘතියේ පිරිහීම හේතුවෙන් අපේ රට සන්නද්ධ අපරාධ කල්ලිවල ගොදුරක් බවට පත් වුණා. ඔවුන් මේ රට තුළ කළු රාජ්‍යයක් නිර්මාණය කරගත්තා. ඔවුන්ට දේශපාලන ආධිකාරිය සහ පොලිසියේ රැකවරණය ලැබුණා. හැබැයි, මේ යටිබිම්ගත රාජ්‍යය අපි සහතික වශයෙන්ම අවසන් කරනවා. එසේ නොමැතිව ආර්ථික ස්ථාවරත්වයෙන් යුත්, අනාගත දරුවන්ට රැකවරණය සහිත රාජ්‍යයක් නිර්මාණය කරන්න බැහැ. දැනට අපි අත්අඩංගුවට ගෙන සිටින පිරිස අපේ රටේ මත්ද්‍රව්‍ය ජාවාරම්වලින් 50%කට ආසන්න ප්‍රමාණයක් මෙහෙයවා තිබෙනවා. සන්නද්ධ අපරාධ කල්ලි 75%කට ආසන්න ප්‍රමාණයක් සමඟ සම්බන්ධතා තිබෙනවා. අපේ රටේ දේශපාලන අධිකාරීන්ට විවිධ ආකාරයෙන් මුදල් පොම්ප කර තිබෙනවා. මේ සන්නද්ධ අපරාධ කල්ලි මැඬ පැවැත්වීම වෙනුවෙන් අපි කටයුතු කරනවා.
ඒ වගේම දේශපාලන අධිකාරිය පුරා පැතිරී තිබෙන අල්ලස, දූෂණය සහ වංචාව සංවර්ධනයට විශාල බාධාවක්. එය සමාජ අස්ථාවරත්වය නිර්මාණය කර තිබෙනවා. තැන තැන තවමත් පරණ පුරුදුවල සිටින රාජ්‍ය යාන්ත්‍රණයේ ස්ථාන සහ පුද්ගලයන් අපි හඳුනාගෙන තිබෙනවා. අපි නැවත නැවතත් කියන්නේ එම පුද්ගලයන්ට නව දේශපාලන සංස්කෘතිය අනුව හැඩ ගැසීමට අවස්ථාව තිබෙනවා. එසේ නොහැකි නම් ඔවුන්ට ඉවත් වී යා හැකියි. එසේත් නැතිනම් අපි ඉවත් කරනවා. මහජනතාවගේ සෑම රුපියලකටම ගරු කරන, එය සාංගික දේපළක් වගේ ආරක්ෂා කරන රාජ්‍ය සේවයක් අපිට අවශ්‍යයි. ඒ වෙනුවෙන් අපි රාජ්‍ය සේවකයන්ට වැටුප් වැඩි කිරීම් ඇතුළු පහසුකම් ලබා දෙනවා. අපේ අයවැය ලේඛනයේ වැඩිම පංගුව අපි රාජ්‍ය සේවකයන්ගේ වැටුප් වැඩිවීම් සඳහා වෙන් කරනවා. 2026 වසරේ වැඩි වූ වැටුප ගෙවීම සඳහා පමණක් රුපියල් බිලියන110 ක් වෙන් කර තිබෙනවා. 2027 වන විට මෙම වැටුප් වැඩිවීම ගෙවීම සඳහා පමණක් රුපියල් බිලියන 330ක් අපි වැය කරනවා. මේ අයුරින් රාජ්‍ය සේවය නූතනත්වයට ගෙන ඒම වෙනුවෙන් අපි කැප වී කටයුතු කරනවා. ”
” අද ඩොලරය සැලකිය යුතු ප්‍රමාණයකින් අපි ස්ථාවර කරගෙන තිබෙනවා. මේ වසර අවසන් වන විට ඩොලර් සංචිත බිලියන 7ක් දක්වා වර්ධනය කර ගැනීමේ ඉලක්කය ඇතිව අපි වැඩ කරනවා. බැංකු පොලී අනුපාතය තනි ඉලක්කමේ රඳවා ගැනීමට අපි සමත් වී තිබෙනවා. අද බැංකු පද්ධතිය පෞද්ගලික ආයෝජන සඳහා විශාල ලෙස මුදල් පොම්ප කරන්න පටන් ගෙන තිබෙනවා. ”
” ඒ වගේම, ආණ්ඩුවේ පළමු වසර තුළ ඩොලර් බිලියනයක සෘජු ආයෝජනයක් කැඳවා ගැනීමට සමත් වී තිබෙනවා. වරාය නගරයේ ඩොලර් බිලියන 1.4ක ව්‍යාපෘති 04ක් අපි දැනට අනුමත කර තිබෙනවා. තවත් ඩොලර් බිලියන 1.2ක විශාල ව්‍යාපෘතියක් සඳහා එකඟතාව 90%ක ප්‍රමාණයකින් අවසන් වී තිබෙන අතර, ජපන් සංචාරයේදී එම ව්‍යාපෘතිය අවසන් කර ගැනීම පිළිබඳව ඉලක්ක කර වැඩ කරමින් සිටිනවා. ඒ වගේම සංචාරක ක්ෂේත්රය, අපනයන ආදායම සහ විදෙස් සංක්‍රාම වැඩිම වසර බවට මේ වසර පත් වෙනවා. ”
ප්‍රවාහන, මහාමාර්ග, වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍ය බිමල් රත්නායක, ප්‍රවාහන සහ මහාමාර්ග නියෝජ්‍ය අමාත්‍ය ප්‍රසන්න ගුණසේන, වරාය සහ සිවිල් ගුවන් සේවා නියෝජ්‍ය අමාත්‍ය ජනිත රුවන් කොඩිතුවක්කු යන මහත්වරු සහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුද,ශ්‍රී ලංකාවේ චීන තානාපති චී ෂෙන්හොන් ( Qi Zhenhong ) මහතා ඇතුළු චීන රජයේ නියෝජිතයෝද, මුදල් අමාත්‍යාංශය, ප්‍රවාහන, මහාමාර්ග, වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍යාංශය ඇතුළු අමාත්‍යාංශවල නිලධාරීන්, මාර්ග සංවර්ධන අධිකාරියේ නිලධාරීන් ඇතුළු පිරිසක්ද මෙම අවස්ථාවට සහභාගී වී සිටියා.