
කෙහෙල්බදර පද්මේ ගැන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට දුන් රහසිගත වාර්තාව (VIDEO)
ඉන්දුනීසියාවේදී අත්අඩංගුවට ගෙන මෙරටට රැගෙන ආ මන්දිනු පත්මසිරි හෙවත් කෙහෙල්බද්දර පද්මේ මෙරට සංවිධානාත්මක අපරාධ හා මත්කුඩු ජාවාරමට අදාළ ප්‍රධාන පෙළේ අපරාධකරුවෙකු බව විමර්ශනවලදී හෙළිව ඇතැයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණය හමුවේ ප්‍රකාශ කළා.
ඔහු පිළිබඳව විමර්ශනය කර සොයාගත් අතිශය සංවේදී කරුණු සහිත රහසිගත වාර්තාවක් අධිකරණය හමුවේ ගොනුකරමින් රහස් පොලිසිය අධිකරණයෙන් ඉල්ලා සිටියේ එම වාර්තාවේ ජාතික ආරක්ෂාව සම්බන්ධයෙන් සංවේදී කරුණු තිබෙන බැවින් එය අධිකරණ සේප්පුවේ ආරක්ෂිතව තැබීමට නියෝගයක් ලබාදෙන ලෙසයි.
ඉන්දුනීසියාවේදී අත්අඩංගුවට ගෙන මෙරටට රැගෙන ආ කෙහෙල්බද්දර පද්මේ දින 90ක රැඳවුම් නියෝග යටතේ මේ වනවිට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයේ රඳවාගෙන ප්‍රශ්න කෙරෙනවා.
එම විමර්ශන අතරතුරදී හෙළිවූ කරුණු ඇතුළත් රහසිගත වාර්තාවක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ඊයේ (19) කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ලහිරු සිල්වා මහතා වෙත ඉදිරිපත් කළා.
එම වාර්තාව ඉදිරිපත් කරමින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් ප්‍රකාශ කළේ සැකකරු විසින් සිදු කළ අවි ආයුධ රැස් කිරීම, සංවිධානාත්මක අපරාධ ජාලය මෙහෙයවීම, ඇතුළු තොරතුරු හෙළිව ඇති බවයි.
ඊට අමතරව නීතිය හා සාමය ආරක්ෂා කරන උසස් පොලිස් නිලධාරීන් තර්ජනය කිරීම, රාජ්‍ය සේවකයන්, අධිකරණ සේවකයන් පොදු මහජනතාව භීතියට පත් කරමින් කොළඹ මහේස්ත්‍රාත් අධිකරණ ශාලාවක් තුළදී ගණේමුල්ල සංජීව ඝාතනය කිරීම ඇතුළු තවත් ඝාතන රැසක් සම්බන්ධයෙන්ද සැකකරුට එරෙහිව විමර්ශන ක්‍රියාත්මක බවයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට දැනුම් දුන්නේ.
එමෙන්ම කෙහෙල්බද්දර පද්මේ විසින් මෙරට හෙරොයින් ඇතුළු මත්ද්‍රව්‍ය ජාලය මෙහෙයවන ප්‍රධාන පුද්ගලයෙකු බවට සැකකරු සම්බන්ධයෙන් කළ විමර්ශනවලදී හෙළිව ඇති බවත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සඳහන් කළා.
එම කරුණු සඳහන් කිරීම සඳහා වන නඩු භාණ්ඩ 51ක ලේඛන සහ සාක්ෂිකරුවන් 32 කුගේ ලේඛනයක් ද රහස් පොලිසිය ඊයේ අධිකරණය හමුවට ඉදිරිපත් කරනු ලැබුවා.
ජංගම දුරකථන හා ඊට අදාළ සිම්පත් සහ තවත් නඩු භාණ්ඩ රැසක ලේඛනයක් ද ඊට ඇතුළත්.
එම සියලු තොරතුරුවලට අමතරව තවත් කරුණු රැසක් ඇතුළත් රහසිගත වාර්තාවක් ඊයේ ඉදිරිපත් කරමින් අපරාධ පරීක්ෂෂණ දෙපාර්තමේන්තුව අධිකරණයෙන් ඉල්ලා සිටියේ එම වාර්තාවේ ඇති කරුණු ජාතික ආරක්ෂාව සම්බන්ධයෙන් සංවේදී විය හැකි බැවින් එය අධිකරණ සේප්පුවේ බහාලීමට නියෝගයක් කරන ලෙසයි.
ඒ අනුව අදාළ වාර්තාව අධිකරණ සේප්පුවේ සුරක්ෂිතව බහා තැබීමට නියෝග කළ මහේස්ත්‍රාත්වරයා අදාළ විමර්ශනවල ප්‍රගතිය ලබන 13 වැනිදා අධිකරණය හමුවට ඉදිරිපත් කරන ලෙසත් නියෝග කළා.
මේ අතර, අදාළ වාර්තාව පිටතට ගැනීමට නියමිතව තිබෙන්නේ නඩු විභාගය ආරම්භවීමෙන් අනතුරුවයි.
මේ අතර, කෙහෙල්බද්දර පද්මේ හා පානදුර නිලංග මෙරටට ගෙනේවා තිබූ අයිස් මත්ද්‍රව්‍ය නිෂ්පාදනය කිරීම සඳහා භාවිත කරන බව කියන රසායනික ද්‍රව්‍ය පිළිබඳ අන්තරායකර ඖෂධ පාලක ජාතික මණ්ඩලයට සිදු කළ පරීක්ෂාවේදී එම සාම්පල 20 න් 17ක්ම අයිස් මත්ද්‍රව්‍ය සෑදීමට යොදා ගන්නා රසායනික ද්‍රව්‍ය ඇති බව හෙළිව තිබෙනවා.