ආක්‍රමණශීලී මත්ස්‍ය විශේෂ හතරක් ආනයනය, ප්‍රවාහනය, ලඟ තබා ගැනීම, අභිජනනය සහ විකිණීමට තහනමක්

ආක්‍රමණශීලී මත්ස්‍ය විශේෂ හතරක් ආනයනය, ප්‍රවාහනය, ලඟ තබා ගැනීම, අභිජනනය සහ විකිණීමට තහනමක්

මෙරට ස්වදේශිය ජලජ පරිසර පද්ධතියට සහ දේශීය මත්ස්‍ය සම්පතට දැඩි තර්ජනයක් එල්ල කරන ‘ජයන්ට් ස්නේක්හෙඩ්’ (Giant Snakehead) නම් ආක්‍රමණශීලී විදේශීය මත්ස්‍ය විශේෂය පාලනය කිරීමේ අරමුණින්, සංරක්ෂණ මෙහෙයුමක් ලෙස සංවිධානය කෙරුණු “දැදුරු ඔය Fishing Tournament 2025” මසුන් ඇල්ලීමේ තරගය,ඊයේ (20) දැදුරු ඔය ජලාශයේදී සාර්ථක අන්දමින් ක්‍රියාත්මක කෙරුණා.

ධීවර අමාත්‍යාංශයේ පූර්ණ මඟපෙන්වීම යටතේ, වයඹ පළාත් සභාවේ දායකත්වය ඇතිව, ‘ඇංග්ලින් ප්‍රජාව ස්පෝට් ෆිෂින් ක්ලබ්’, ජාතික ජලජීවී වගා සංවර්ධන අධිකාරිය (NAQDA), Clean Sri Lanka ආයතනය සහ ප්‍රදේශයේ ධීවර සමිති එක්ව සංවිධානය කළ මෙම මෙහෙයුමට දිවයිනේ විවිධ ප්‍රදේශවලින් 1000 කට අධික ක්‍රීඩා මසුන් අල්ලන්නන් (Anglers) පිරිසක් සහභාගී වූ අතර, දකුණු ඉන්දීය ක්‍රීඩකයින් දෙදෙනෙකු සහභාගී වීම කැපී පෙනුණා.

එහිදී ධීවර, ජලජ හා සාගර සම්පත් අමාත්‍යාංශයේ ලේකම්, ආචාර්ය බී. කේ. කෝලිත කමල් ජිනදාස මහතා එහි අරමුණ පැහැදිළි කළා.
“විසිතුරු මසුන් ලෙස මෙරටට ගෙනවිත්, පසුව එම මත්ස්‍යයින් ස්වභාවික ජල පද්ධතිවලට මුදා හරින ආක්‍රමණශීලී මත්ස්‍ය විශේෂ මගින් සිදුවන පාරිසරික හානිය පිළිබඳව සමාජ කතිකාවතක් ඇති කිරීම අපේ ප්‍රධාන අරමුණක්. අපේ පරිසරයේ ස්වභාවික විලෝපිකයන් නොමැති වීම නිසා මෙම මසුන් වේගයෙන් බෝ වී, දේශීය මත්ස්‍ය සම්පත විනාශ කර, ධීවර ප්‍රජාවගේ ජීවනෝපායට දැඩි බලපෑම් එල්ල කරනවා,”

මෙම ගැටලුවට ස්ථිර විසඳුමක් ලෙස, පහත සඳහන් ආක්‍රමණශීලී මත්ස්‍ය විශේෂ හතර ආනයනය, ප්‍රවාහනය, ලඟ තබා ගැනීම, අභිජනනය සහ විකිණීම තහනම් කරමින් නව රෙගුලාසි ඇතුළත් ගැසට් පත්‍රයක් ඉදිරියේදී ප්‍රකාශයට පත් කිරීමට නියමිත බව ද ඒ මහතා පැවසුවා.

පිරානා (Piranha) විශේෂ
නයිෆ් ෆිෂ් (Knife Fish)
ඇලිගේටර් ගාර් (Alligator Gar)
රෙඩ් ලයින්/ජයන්ට් ස්නේක්හෙඩ් (Redline/Giant Snakehead)

මෙම නීතිය, ගැසට් පත්‍රය නිකුත් කර මාස තුනක සහන කාලයකින් පසු පූර්ණ වශයෙන් බලාත්මක වන බවත්, විනෝදාංශයක් ලෙස හෝ ප්‍රදර්ශන අරමුණු සඳහා මෙම මසුන් ලඟ තබා ගන්නා පුද්ගලයින්ට ජාතික ජලජීවී වගා සංවර්ධන අධිකාරියෙන් (NAQDA) විශේෂ බලපත්‍රයක් ලබා ගත හැකි බවත් ලේකම්වරයා වැඩිදුරටත් සදහන් කළා.

තරගයේ ජයග්‍රාහකයින් සඳහා මුදල් ත්‍යාග පිරිනැමුණු අතර, දැදුරු ඔය ධීවර ප්‍රජාව දිරිගැන්වීම සඳහා ධීවර දඬු 15 ක් සහ රීල් 03 ක් ඇතුළු වටිනා ධීවර උපකරණ කට්ටල ද ප්‍රදානයක් ද සිදු කෙරුණා.

 

 

Share This